දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති

Spread the love

දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන බවත් සමස්ත ජනතාව සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යෑමට අඩිතාලම දැමීමට බවත් අයුතු බලපෑම් කරමින් තම පුතණුවන් වෙත තරුණ බලකායක් හෝ තරුණ සංවිධානයේ තනතුරක් බාරදී නැති බව සිහිපත් කළ ජනාධිපතිවරයා උත්සව සභාවේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටිය ද ඔහු වේදිකාවේ නොවන බව පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (02)පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනයට එක්වෙමිනි. වසර දහතුකට පසුව පැවැති තරුණ සම්මේලනය දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් මහත් අභිමානවත් අයුරින් පැවතුණි. තරුණ පෙරමුණේ ප්‍රතිසංවිධාන වාර්තාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

විසඳුම් ග්‍රන්ථය සහ නිදහස් පුවත්පතේ පළමු පිටපත ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය ද පිළිගැන්විණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නිල වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා සුරතිනි.

වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයන්ට එරෙහිව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් අවංක, ක්‍රියාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බවත් දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිත කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදීමෙන් පසු තමාට එය ඉදිරියට ගෙන යෑමට නොදී බාධා කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් තමා නොයෙන දුප්පත් පවුලකින් දේශපාලනයට ප්‍රවිශිෂ්ට වූ රඳළ, ප්‍රභූ, පැළැන්තියේ නොවන නිසාදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

වාම ප්‍රගතිශීලි බලවේග ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ ජවය ශක්තිය, දැනුම සහ කැපවීම, අධිෂ්ඨානය ඒකරාශී කර ගනිමින් අනාගත ආණ්ඩුවක් පිහිටුවීම හැකි බව ද ජනාධිපතිවරයා පැවැසීය. මේ වසරේ පළාත් පාලන මැතිවරණය පැවත්වීමට හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බවත් එම මැතිවරණය සඳහා තරුණ පිරිස් අපේක්ෂකයන් වී නායකත්වය දී පක්ෂය ජයග්‍රහණය සඳහා කැප වෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

උතුරු දකුණු, බටහිර ආදී පළාත් ලෙස සිංහල, දමිළ, මුස්ලිම් සියලු තරුණ පිරිස් ඒකරාශී වී ඉතිහාසයේ ප්‍රථම වරට තරුණ සමුළුවක් පැවැත්වීමට හැකිවූ බවත් එය ඓතිහාසික අවස්ථාවක් බවත් ජනාධිපතිවරයා කීවේය.

සාර්ථක තරුණ සමුළුව ඉදිරි ගමන් මඟට විශාල ශක්තියක් බවත් සාර්ථක සමුළු අපේ ආණ්ඩුවේ ගමන් මඟ සාර්ථක කිරීමට නිවැරදි කිරීමට වැදගත් පණිවිඬක් වනු ඇති බවත් වැඩි දුරටත් පැවසීය.

RSL

Related Posts