මුදල් අමාත්‍යවරයාගේ සේවය ජාත්‍යන්තර පැසසුමට ලක්‌වුවද මෙරට ඇතැම් පිරිස් එය අගය නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමියෝ පැවසූහ. ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී ඒකපාර්ශ්වීය නොවී සෙසු සියලු පාර්ශ්ව සමඟ එක්‌ව සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නේ නම් වඩා යෝග්‍ය බවද මහනාහිමියෝ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ප්‍රකාශ කළහ.
ආසියා පැසිෆික් කලාපයේ හොඳම අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් සම්මානයෙන් පිදුම් ලැබූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එම සම්මාන මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වා තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ දන්වා සිටීමට පෙරේදා (01දා) ගිය අවස්‌ථාවේදී මල්වතු පාර්ශ්වයේ හිමියෝ එසේ කියා සිටියහ. ඉදිරියේදී උත්සව සමයට සාමාන්‍ය ජනයාට පහසුවන පරිදි භාණ්‌ඩවල මිල අඩුකිරීමට හැකි අයුරින් කටයුතු කරන ලෙසද උන්වහන්සේ අමාත්‍යවරයාට දැන්වූහ.
මෙරට ආර්ථිකය මෙතෙක් බරපතළ අර්බුදයකට පත්ව තිබූ බවත් එම තත්ත්වය දැන් යහපත් අතට පත්ව ඇති බවත් රවි කරුණානායක අමාත්‍යවරයා මහනාහිමි හමුවේ කියා සිටියේය.
රවි කරුණානායක මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු බැහැදැක අනුශාසනා ලැබූ අතර අපනයන සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙම අවස්‌ථාවට සහභාගි විය.