දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි

Spread the love

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ.

විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම වූ වැසි ඇද හැලෙන බව වාර්තා වේ.

ඊයේ දිනයට සාපේක්ෂව අද රාත්‍රීයේ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.

ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වැසි පැවතියහොත් දිස්ත්‍රික්ක 7ක් සඳහා නාය යන බවට අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

එම දිස්ත්‍රික්ක 7 නම් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්ක ය.

මෙම දිස්ත්‍රික්කයන්හි කඳුකර සහ බෑවුම් ප්‍රදේශවල නාය යෑම් සහ කණ්ඩි කඩා වැටීම් පිළිබඳ විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

රත්නපුර දිස්ත්‍රික්කයේ,

ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කලවාන, කොලොන්න යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ වලට එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ,

බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට යන ප්‍රදේශවලට ද එලෙස අනතුරු ඇඟවිම් නිකුත් කළේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ,

බද්දේගම, යක්කලමුල්ල, නෙලුව, තවලම ,නියාගම හා නාගොඩ ප්‍රදේශවලට ද මෙම අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ,

බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, බදුරලිය යන ප්‍රදේශ මීට අයත් ය.

මාතර දිස්ත්‍රික්කයේ,

කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මුලටියන යන ප්‍රදේශවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ,

වලස්මුල්ල, කටුවන, ප්‍රදේශ වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කෝරලේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ වලටත් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.

RSL

Related Posts