විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා – අශිෂ්ටත්වය ඉදිරියට!

Spread the love

protest

53 හර්තාලය මෙරට ඉතිහාසයේ ප්‍රකටත ම ජනතා නැගිටීම්වලින් එකකි. තවත් බොහෝ විරෝධතා එදා මෙදා තුර මෙරට ඇති විය. විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ගැටලු, අර්බුද, අසාධාරණකම් අරබයා මෙලෙස විරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයකි. රාජ්‍යය නම් මර්දන උපකරණය ක්‍රියාත්මක වීමේ දී බොහෝ විට දුක් පීඩා, අසාධාරණයන් සිදුවන පාර්ශ්වයන් එයට එරෙහිව විරෝධතා පළ කරති. ඉල්ලීම් දිනා ගනිති.

මැයි දිනය ඇති වීමට හේතු වුණු, ඇමරිකාවේ “හේමාකට් අරගලය” කිසිවෙක් අසාධාරණ අරගලයක් ලෙස අද සලකන්නේ නැත. විරෝධතා-අරගල හට ගන්නේ කිසියම් හෝ අසාධාරණයට ලක්වීමක් මතිනි. ලේ ගංගා මතින් සාධාරණය දිනාගන්නා ලද අවස්ථා ඉතිහාසයේ ප්‍රකට ව හමුවෙයි. අප පෙර සඳහන් කළ හේමාකට් අරගලය නිසාවෙන් ලෝක කම්කරුවෝ පැය 08 සේවා මුරය දිනාගත්තෝ ය.

ඈත ඉතිහාසයේ පමණක් නොව මෑත ඉතිහාසයේ ද අප රටේ විවිධ අරගල-විරෝධතා ඇති විය. ජය අත්වීම්, පරාජය අත්වීම් සහ පහරකෑම්, ඝාතනයට ලක්වීම් විවිධ ලෙසින් සිදු විය. නමුත් අසාධාරණයන්ට එරෙහි අරගලයන් නැවතුණේ නැති. එය එසේ ම ය.

විරෝධතාවලට පහරදීම් කවර කලෙක වුව ද පැවති අශිෂ්ට සංස්කෘතියකි. බලපත්‍රධාරී චණ්ඩින් වන පොලිසිය යොදවා හෝ නිල නොවන මැර පිරිවර යොදා හෝ තම ගමනට බාධා කරන විරෝධතාවන් මැඩලීම පාලකයෝ කවදත් කළ දෙයකි.

එයට වඩාත් අශිෂ්ටත්වයක් එක් කරමින් නව මර්ධන උපාංගයක් විරෝධතා වෙත ඉදිරිපත් කළේ එවැනි ඒවාට අතිශය දක්ෂකම් පෑ මහින්ද රාජපක්ෂ පාලනය යි.

එනම්, යම් කිසි සාධාරණ ඉල්ලීමක් ඉටු කරන්නැ යි රජයට බලකෙරෙමින් කෙරෙන විරෝධතාවකට එරෙහිව තම කුලී හෙංචයියන් ලවා එකී විරෝධතාව පැවතෙන ස්ථානයට ආසන්නයේ සිදු කරවන ප්‍රති විරෝධතාවයනු යි. නොයෙක් අවලස්සන දේවල් රටට හඳුන්වා දුන් මහින්ද ඇතුලු පිරිස මෙය කළ අයුරු ජුගුප්සාජනක ය.

මේ ප්‍රතිවිරෝධතා සඳහා එකල නිබඳ ව යොදා ගනු ලැබුවේ, පාදඩ නිර්ධන පංති සාමාජිකයෙක්ට ලංකාවෙන් හොඳ නිදසුනක් ලෙස දිය හැකි මහින්ද කහඳගමගේ ස්වයං රැකියා සංගමය යි. මේ බත් බැලයන් ලවා අදාළ විරෝධතා අසල ප්‍රතිවිරෝධතා පවත්වා විරෝධතාකරුවන්ට පහර දෙන්නට පවා එකල පාලකයෝ ක්‍රියා කළ බව අපට අමතක නැත.

වර්තමානයේ ද ඒ පිළිකුල් සහගත පුරුද්ද දිගින් දිගට ම පවත්වාගෙන යන අයුරක් දක්නට ලැබේ. දළදා මාළිගාව අසල මාවත විවෘත කිරීම සඳහා විරෝධතාවක නිරත වූවන්ට එරෙහිව උද්ගෝෂණයක් කළ පිරිසක් බෞද්ධාලයෙන් මත් වී පළමු විරෝධතාකරුවන්ගේ ඔලු පැලූ අයුරු දක්නට ලැබුණි.

එපමණක් නොව, ඇමති හරීන් ප්‍රනාන්දු විසින් වෛද්‍යවරයෙක්ට කළ අශිෂ්ට ආමන්ත්‍රණයකට එරෙහිව බදුල්ලේ වෛද්‍යවරුන් කළ විරෝධතාවකට එරෙහි ව විරෝධය දක්වන්නට දයා ගමගේට අයිති ගුවන් යානාවලින් සට්ටඹියන් ගෙනා බවක් වාර්තා විය.

යහපාලනය මහින්දගේ අශිෂ්ටත්වයට පිළිතුරක් නොගෙනෙන බව මේ සිදුවීම් ජනතාවට පැහැදිලි කරයි.

අප සටන් කළ යුත්තේ මෙවැනි අශිෂ්ටත්වයන් සාමාන්‍යකරණය වනවාට එරෙහිව ය.

සඳුන් ප්‍රියංකර විතානගේ

RSL

Related Posts