දූෂණයට එරෙහිව සටන් වදින බව ජනපති කියයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසීය.

පැවති දූෂිත පාලනය වෙනස් කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත් කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙලක් සඳහා බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජනතා අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලු දෙනා සුදානම් විය යුතු බව ද අවධාරණය කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන ළඳරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලඥයින් ලෙස බෙඳීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යෑම සියලු දෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලු දෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

එමෙන්ම දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේ නම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමඟ එක්ව එම සටන ඉදිරියටම ගෙන යෑමට සුදානම් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බව පැවසූ ජනාධිපතිවරයා එම දිගුකාලීන දේශපාලන ගමනක මහගු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසිය.

රටේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමාගේ උපදෙස් පරිදි මසකට රුපියල් බිලියන 06 කට වැඩි මුදලක් මේ වන විට නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය වැය කරන බවයි.

RSL

Related Posts