ෆයිසර්ට එරෙහි විශ්වාසභංගය කථානායකට; පක්ෂ ගණනාවක සහය

Spread the love

ඡන්දය නිසිකලට වේලාවට පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අමාත්‍යධුරයේ කටයුතු කිරීම පිළිබඳ විශ්වාසය භංග වී ඇතැයි පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුද ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ භාර දුන්හ.

අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නලීන්ද ජයතිස්‌ස සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව කථානායක කාර්යාලයේදී භාරදුන් අතර මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගි විය.

මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදුන් අතර මේ වන විට මෙම විශ්වාසභංග සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුද සහය පළකිරීමේ තත්වයක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේය.

පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනත ඇතුළු පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය අනෙකුත් සියලු නීතිමය ප්‍රතිපාදන සම්මත කර තිබියදී එකී මැතිවරණ නිසි කලට පැවැත්වීමට අපොහොසත් වී ඇත. එයට මූලික වශයෙන් බලපා ඇත්තේ

1. 2017 පෙබරවාරි මස 17 දින නිකුත් කරන ලද අංක 2006/44 දරන ගැසට්‌ නිවේදනය ව්‍යාකුලත්වයකින් තොරව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

2. ජාතික සීමා නිර්ණය කොමිසම මගින් සීමා නිර්ණය කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන සහ කොට්‌ඨාස නම් කරන ලද 2015 අගෝස්‌තු 21 දා නිකුත් කරන ලද අංක 1928/16 දරන ගැසට්‌ නිවේදනයේ වන දෝෂ නිවැරදි කිරීමට මෙතෙක්‌ අපොහොසත් වීම යන කරුණුය.

ඇමැතිවරයා මෙලෙස වගකීමෙන් තොරව කටයුතු කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ඡන්ද අයිතිය ඔවුනට අහිමි කර ඇත. අනෙක්‌ පැත්තෙන් බිම් මට්‌ටමේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ඉටුකර ගන්නා පළාත් පාලන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වීම සිදු නොවේ. වඩාත් බරපතළම ප්‍රශ්නය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ තර්ජනයකට මුහුණ දීමය. ඡන්දය නිසි පරිදි නිසි කලට පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් තවදුරටත් ඔහු එකී තනතුරෙහි කටයුතු කිරීම කෙරෙහි මුළුමනින්ම විශ්වාසභංග වී ඇත.

එබැවින් පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක්‌ නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

RSL

Related Posts