ජනපති මෛත්‍රීගේ අවංකභාවය ව්‍යාවස්ථාදායක සභාව තම දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතයේ යොදවලා

Spread the love

මීට පෙර විධායක ජනාධිපතිවරයාගේ තනි මතයට සහ රුචිකත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමට තිබූ විධායක බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අහෝසි කරමින් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාදායක සභාව අද ඉතා කුමන්ත්‍රණකාරී ලෙස එක් කණ්ඩායමකදී දේශපාලන අරමුණු වෙනුවෙන් සැලසුම් සහගතව අවභාවිතාවේ යොදවමින් ජනාධිපතිවරයා ලෙස තමා එදා පාරිශුද්ධ වේදනාවෙන් සිදුකළ දෙය එම පිරිස් අපයෝජනයට ලක්කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(21) කරුණු සහිතව පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

උසස්වීම් ලබාදීම සඳහා නිර්දේශ කළ විනිසුරුවරුන් දාහතරදෙනකුගේ නම් කිසිදු හේතුවක් නොමැතිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි ද, තම සේවා කාලයේදී උසස්වීම් ලබාදෙන්නේ නැතිනම් ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳ දැන ගැනීමේ අයිතියක් අධිකරණ විනිසුරුවරුන්ට ඇතැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ව්‍යවස්ථා සභාව විසින් සිදුකර ඇති පත්කිරීම් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විවේචනයක්, දෝෂාරෝපණයක් හෝ විරුද්ධත්වයක් නැතත් එහිදී ප‍්‍රතික්‍ෂේප වූ 14 දෙනකුගේ නම් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගයේ කිසිදු සාධාරණත්වයක් හා විනිවිද භාවයක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථා සභාව රීති සකසා ඒවා ගැසට් කොට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමත කළ යුතු වුවද, මෙතෙක් එවැන්නක් සිදු වී නැති බැවින් එය ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ඒ ගැන තමන්ට බලවත් කනස්සල්ලක් ඇති බවත් ව්‍යවස්ථා සභාවේ එම ක‍්‍රියාදාමය සදාචාරාත්මක නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ව්‍යවස්ථා සභාව විසින් ඇතැම් පත්වීම් සිදුකළ දිනවල එහි සිවිල් නියෝජිතයන් එම රැුස්වීම්වලට සහභාගි වී නැතැයි ද, ඔවුන් නොමැතිවීම හොඳ යැයි ඇතැම් විට සිතුවාද කියා තමන්ට සිතෙන බව ද හෙතෙම පැවසීය.

විශේෂයෙන් ම පොලිස්පතිවරයා පත් කිරීමේදී එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව කියා සිටියේය.



අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කළ විනිසුරුවරුන්ගේ නම් ප‍්‍රතික්‍ෂේප කිරීමට මෙතෙක් කිසිදු හේතුවක් දක්වා නැතැයි ද එම නිසා එම විනිසුරුවරුන්ට විශාල අපේක්‍ෂාභංගත්වයක් ඇති වී තිබෙන බව ද හෙතෙම පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තීරණයක් ගතයුතු අතර ඒවාට තමන් කිසිදු ලෙසකින් එරෙහි නොවන බවත් ජනාධිපතිවරයා කීය.

මේ විනිසුරුවරුන්ට ව්‍යවස්ථා සභාව හෝ අගවිනිසුරු හමුවීමට හැකියාවක් නැතැයි කී ජනාධිපතිවරයා උසස්වීම් ලබා නොදී නම් ප‍්‍රතික්‍ෂේප කළේ තමන් බවට මෙම විනිසුරුවරුන් තුළ හැඟීමක් තිබූ බව ද කීවේය.

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වී ඇති බවට චෝදනාවක් තිබෙන බව කී ජනාධිපතිවරයා වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව යැයි ද කීය.

ව්‍යවස්ථා සභාව විසින් සිදුකරනු ලැබූ විවිධ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (21) විපක්‍ෂය විසින් ගෙන එන ලද කල් තැබිමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ඉහත අදහස් දැක්වීය.

RSL

Related Posts