කිරිපිටි කොම්පැණිකාරයින්ට යටවෙලා ඒ අයට ඕන විදියට මේ රටේ සෞඛ්‍යය හසුරුවන්න දෙන්න බැහැ

Spread the love

අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන් කොහොම කිව්වත් සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නැතැයිද ජනාධිපතිවරයා කීය.

මහවැලි ගොවීන් 10,000 කට ඉඩම් ඔප්පු ලබාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග හා සම්මාන පිරිනැමීම නිමිත්තෙන් මහවැලි සී කලාපයේ සිරිපුර නුවරගල මහා විද්‍යාල භූමියේ පැවැති උත්සවයක්‌ අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“මේ රටේ කිරි කර්මාන්තය පිළිබඳව ගත්විට දේශීය කිරි තමයි අපි වර්ධනය කරන්නට ඕන. දියර කිරි නිෂ්පාදනය වැඩි කරන්නට ඕන. ලෝකයේ අද රටවල් 10-15 ක්‌ තමයි පිටරටින් පිටිකිරි ගෙනැල්ලා බොන රටවල් තිබෙන්නෙ. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්‌. මේක ඉතාමත්ම අවාසනාවන්තයි. මම දැක්‌කා පසුගිය දවස්‌වල කිරි පිළිබඳව සංවාදයක්‌ යනවා දේශපාලන ක්‍ෂේත්‍රයේ. කථානායක තුමාත් කියලා තිබුණා කළබල වෙන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නේ කිරිපිටි නොවෙයි දියර කිරි කියලා. ඒ වගේම මම දැක්‌කා සෞඛ්‍ය ඇමැතිතුමාත් කතා කරලා තිබුණා කිරිපිටිවල නිවැරදිභාවය පිළිබඳව. මම නම් සෞඛ්‍ය ඇමැතිවරයා විදියට අවුරුදු 05 ක්‌ හිටියා. කිරිපිටි සමාගම්කාරයින්ට මම මගේ ගෙදර ගේට්‌ටුවෙන් එන්න දුන්නේ නෑ. අමාත්‍යංශයට ඇතුළුවෙන්න මම දුන්නෙ නෑ. ඒක තමයි එදා මගේ ප්‍රතිපත්තිය. අදත් ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ. මේ පිටරටින්අ ගේන පිටිකිරි කවුරුන් කොහොම කිව්වත් ඒවා සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නෑ. මහා බහුජාතික සමාගම්වලට. ඒවා කිව්වම ඒගොල්ලන් මාත්අ එක්‌ක තරහ වෙනවා. මාත් එක්‌ක ඔක්‌කොම තරග වෙලා ඉන්නේ. මත් කුඩු කාරයෝ, අරක්‌කු කාරයෝ, සිගරට්‌ කාරයෝ, බෙහෙත් ජාවාරම්කාරයෝ. කිරිපිටි ගැනත් එහෙමයි. ඒ කවුරු තරහා වුණත්, විරුද්ධ වුණත් මේවා නොකියාම බැහැ. රටක්‌ දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕන. දේශීය කිරි නිෂ්පාදනය තුළ තමයි රටේ කෘෂි ආර්ථිකය, පශු සම්පත් සංවර්ධනය ඉතාමත් මූලික වෙන්නේ. සෞඛ්‍ය සම්පන්න ජනතාවකට අවශ්‍යවන්නේ තමාගේ ගමේ කිරි ටික. මම ඇත්තම කියන්නම් සමහරවිට විශ්වාස කරන එකක්‌ නෑ. මම ඉස්‌කෝලෙ යන කාලේ අවුරුදු 12 – 15 කාලේ ගෙදර හිටපු කිරි එළදෙනගෙන් උදේට නැගිට්‌ටහම, කිරි එළදෙන කිරි අම්මා කියලා අපි කියන්නේ මම ගිහිල්ලා කිරි ටික දොවන්නෙ ටින් එකක්‌ අරගෙන. කිරි දොවල ඒ කිරි ටික අරගෙන ගෙදර අයට බොන්න අම්මට දීලා ඒක හදන්න ඊට පස්‌සෙ තමයි මම ලෑස්‌ති වෙලා ඉස්‌කෝලෙ යන්නේ. මම මගේ මේ ඇඟිල්ලෙන් කිරි අම්මලගේ කිරි දොවලා තියෙනවා. මම ඒක කියන්නට ඕන. අපි කිරි පිටි කොම්පැණිකාරයන්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයන්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනව නම් ඒක ඉතාමත්ම වැරදියි”.

RSL

Related Posts