මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි

Spread the love

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ බවත් වසර පහකට බලයට පත්වී රට විනාශ කර දමන දේශපාලකයන්ගෙන් මේ රට බේරාගැනීමට මඟක් සෙවීමට කාලය එළැඹී ඇති බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පසුගියදා පැවැසූහ.

උන්වහන්සේ මෙසේද පැවැසූහ.
පසුගිය වතාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වී මාස තුනක් ගත වීමටත් පෙර මහ බැංකු මහා කොල්ලය නොහොත් මහජන මුදල් කොල්ලකෑම සිදු කළා. මේ අපරාධයට එරෙහිව මුලින්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළේ මමයි. ආර්ථික විශේෂඥයන් මේ මුදල බිලියන ගණනක් බව පවසා තිබෙනවා. මේ රටේ දුප්පත් අහිංසකයන් සතෙන් සතේ රැස් කරපු මුදල්වලින් අද සිංගප්පූරු ජාතිකයෙක් සුරසැප විඳිනවා. රටේ හදවත විදේශිකයකුට පිදූ අගමැතිවරයා සහ ඒකට හවුල් වී සල්ලි මිටි ගෝනිවල දාගෙන අරන් ගිහින් සුපිරි නිවාස, යාන වාහන ගත්ත ඇමැති මණ්ඩලේ සමහරු හොරේ අහු වුණාම සල්ලි පිනට දෙන්න කතා කරනව සුදනො වගේ.

සුජීව සේනසිංහ මහ බැංකු පොත් ලියපු වෙලේ මං එතුමාගෙන් ඇහුවා ඔබට ලැබුණු කොමිස් මුදල කීයද කියලා. රවි කරුණානායක මේ රටේ හිටිය අසාර්ථකම මුදල් ඇමැති. ලෝකේ හොඳම මුදල් ඇමැති සම්මානය ගත්ත දාට පස්සෙන්දා එයාට තනතුර දාලා ගෙදර යන්න වුණා. සල්ලිදෙයියන්ගේ මල්ලි කියන්නේ ඒකයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස තුනෙන්ම මේ අය අස්වැන්න නෙළා ගත්තා.

රවි මුදල් ඇමැති ලෙසත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙසත් අස්සන් කළ මුදල් නෝට්ටු වහාම අවලංගු කර නැවත මුද්‍රණය කළ යුතුයි. තමන් දරු පවුල සමඟ ජීවත්වන නිවෙසේ නියම හිමිකරු කවුද නොදන්නා පුද්ගලයෙක් නැවත වරක් මුදල් ඇමැති වුණොත් මොන බැංකුව කඩයිද දන්නේ නෑ.

ජනාධිපතිවරයාගේ අවංක බව හා ගැමියකු ලෙස සාමකාමී නිහඬ බෞද්ධයකු ලෙස එතුමා ගත කරන ජීවිතයෙන් අයුතු පල නෙළා ගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් ඔබ්බට ගොස් එතුමාගේ සිහිනය වන ජනාධිපති පුටුවේ බලතල පාවිච්චි කරලා. ජනාධිපති බොරු කීව නම් ඒ මොහොතේම නැඟිට නිවැරැදි කරන්න තිබුණා. සියල්ල ඇත්ත නිසයි වරද භාරගෙන නිහඬව සිටියේ.

අර්ජුන මහේන්ද්‍රන්ට රටෙන් පිටවෙන්න උපකාර කළෙත් අගමැති රනිල්මයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා අන්තර්ජාතික පොලිසියේ සහාය පතනවා. වහාම තම ගජ මිතුරා ලංකාවට ගෙන්වා අපේ රටේ දුප්පතුගෙන් ගසා කෑ මුදල නැවත ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව රටේ ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන වහාම අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත යුතුයි. සිංගප්පූරු ගිවිසුම අහෝසි කළ යුතුයි.

ජනාධිපතිවරයා පොදු අපේක්‍ෂකයා ලෙස එක්වී කෙතරම් මානසික පීඩනයක් දරාගෙන මේ කාලය ගෙවා ඇතිද යන වගදැන් රට වැසියන්ට හොඳින් තේරුම් ගිහින් තියෙනවා.

රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට රංචු ගැසී කරපු සැලැස්ම නාමල් කුමාර නමැති පොලිස් ඔත්තුකරුගෙන් හෙළි වුණා. ඒ ගැන කතා කිරීමට යහපාලන ආණ්ඩුවේ කිසිවෙක් නෑ. රනිල් වික්‍රමසිංහගේ දෑත් පිරිසුදු නම් ඔහුට මේ චෝදනාවෙන් නිදහස් විය හැකියි. නමුත් නිහඬතාවයෙන් පෙනී යන්නේ කියන්න මුකුත් නැති බවයි.

වහාම මහ මැතිවරණයක් රටට අවශ්‍යයි. ලක්ෂ 155ක ඡන්ද දායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට බඩගෝස්තරවාදීන්ට ඉඩදීමට නොහැකියි. මේ රටේ ජනතාවට මිස රට අයිති පාර්ලිමේන්තුවේ බලයට පොරකන 124 දෙනාට නෙවෙයි. අවමංගලගේ තෙල් මිල සූත්‍රය ජනතා හිසමතට පැටවූ අධික බදුබර, මැති ඇමැතිලාගේ රට සවාරි, සැපවාහන, හිසේ කෙස් ගාණට ආරක්ෂකයෝ ආදී මේ සියල්ල අතහැර රට වෙනුවෙන් කැපවෙමින් ජනතා පරමාධිපත්‍යට ගරු කර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි.

RSL

Related Posts