ලොව බලවත් පූටින්ගෙන් ජනපතිට අද්විතීය පිළිගැනීමක් (Video)

Spread the love

රුසියානු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බව ව්ලැඩ්මිර් පුටින් මහතා පවසයි. දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ(23) පස්වරුවේ සිදු විය.

රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහරකින් ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ක්‍රෙම්ලින් මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවැති සුහද කථා බහෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා-රුසියානු ද්විපාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබඳ ව්ලැඩ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැඟුණු මිත්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලොව බලවත් නායකයකුගෙන් හිමි වූ මෙම කුළුපඟ මිත්‍රශීලීත්වය පිළිබඳ තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සළකන බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා-රුසියා සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් වන අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මීට දශක 4 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 4කට ද ඊයේ රාජ්‍ය නායකයන් ඉදිරියේ අත්සන් තැබූහ. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.

අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.

RSL

Related Posts