බැඳුම්කර කොල්ලයට රවි, මලික්‌ සහ කබීර්ගෙන් සැලසුම් ලැබුණු බවට සාක්ෂියක්!

Spread the love

මහ බැංකුව විසින් 2015 පෙබරවාරි 27 දා සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ක්‌ වටිනා ලංසු භාර ගැනීම නොකළ යුතුව තිබුණු බවත් වැඩිම වුණොත් රුපියල් බිලියන 02 කට හෝ 03 කට වඩා ඉහළට යා යුතුව නොතිබුණු බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා ඊයේ (23 දා) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

2015 පෙබරවාරි 27 දා පැවැත්වීමට නියමිතව තිබූ බැඳුම්කර වෙන්දේසිය ගැන පෙබරවාරි 23 දා පැවති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී සාකච්ඡාවට භාජනය වූ නමුත් එහිදී අවසන් තීරණයක්‌ ගත්තේ නැති බවත් මුදල් මණ්‌ඩලය විසින් තීරණය කර තිබුණේ රුපියල් බිලියනයක්‌ වටිනා ලංසු කැඳවීමට පමණක්‌ බවත් සියයට 12.5 ක පොලී අනුපාතයකට රුපියල් බිලියන 10 ක්‌ වටිනා ලංසු භාර ගැනීම තනිකර මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතාගේ වුවමනාවට සිදුවූවක්‌ බවත් ආනන්ද සිල්වා මහතා කීය.

එම බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමට පෙර දින රජයේ අමාත්‍යවරුන් තිදෙනකු මහ බැංකුවට පැමිණ මහ බැංකුවේ භෝජනාගාරයේ රැස්‌වීමක්‌ පවත්වන බව තමාට හදිසියේම දැන ගන්නට ලැබුණු අතර ආරාධනාවක්‌ ලැබී තමාද ඊට සහභාගි වූ බවත් රවි කරුණානායක, කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරුද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කීප දෙනකු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතාද සහභාගි වූ රැස්‌වීමේ මුලසුන ගෙන සිටියේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා බවත් ආනන්ද සිල්වා මහතා කීය.

ඒ රැස්‌වීමේදී සාකච්ඡා වුණේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කීපයක්‌ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පිළිබඳව බවත් ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීම ගැන නැවත සලකා බැලිය යුතු බවටද සාකච්ඡා වූ බවත් ඔහු පැවසීය.

දේශපාලනඥයින් මහ බැංකුවට පැමිණ එවැනි රැස්‌වීම් පැවැත්වීම තමා දන්නා හැටියට මීට පෙර සිදුව නැති බවත් මෙය අසාමාන්‍ය සිදුවීමක්‌ ලෙස සැලකිය හැකි බවත් සාමාන්‍යයෙන් කෙරෙන්නේ මහ බැංකුවේ නිලධාරීන් අමාත්‍යාංශවලට ගොස්‌ ඇමැතිවරුන් හා උසස්‌ නිලධාරීන් හමුවී ඔවුන්ගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කිරීම බවත් ආනන්ද සිල්වා මහතා කොමිසමේ විනිසුරුවන්ගේ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතාගේ සාක්‍ෂිය ඊයේ මෙහෙයවනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසිනි.

-දිවයින-

RSL

Related Posts