මැතිවරණයට STF 9000ක ආරක්ෂාව

Spread the love

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (07 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතු වෙයි.

ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ සිට දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් ප්‍රදර්ශනය කර ඇති සියලු කටවුට්‌, බැනර් පෝස්‌ටර් ද ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මෙයට අමතරව කොට්‌ඨාස මට්‌ටමින් අපේක්‍ෂකයන් පිහිටුවනු ලැබූ ප්‍රචාරක කාර්යාල ද අද සිට ඉවත් කර ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂවලට දැනුම් දී ඇත.

දේශපාලන පක්‍ෂවල අවසන් රැලි අද පැවැත්වෙන අතර ඒවා මධ්‍යම රාත්‍රි 12.00 ට පෙර අවසන් කරන ලෙස ද කොමිසම දැනුම් දී ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පොළොන්නරුවේදීත් එක්‌සත් ජාතික පක්‍ෂය කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ හිදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝමාගමදීත් සිය අවසන් රැලි පැවැත්වීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ඇතිවිය හැකි ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කිරීම සහ මැතිවරණ දූෂණ වැළැක්‌වීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මුළු රටම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇත.

මෙම විශේෂ ආරක්‍ෂක සැලැස්‌මට අනුව සියලුම පළාත් පාලන ආයතන බලප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ජංගම සංචාර 3000 කට වැඩි ප්‍රමාණයක්‌ මැතිවරණය පැවැත්වෙන දින ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති වැල්ලවාය, අම්බලන්ගොඩ, නුවරඑළිය, බදුල්ල, තංගල්ල, හැටන්, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ පනහකට ආසන්න ප්‍රමාණයකට විශේෂ ආරක්‍ෂාවක්‌ ලබා දීමට ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සැලසුම් කර තිබේ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

මෙම මෙහෙයුම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නවදහසකට ආසන්න පිරිසක්‌ යොදවා ඇති බවද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

RSL

Related Posts