පෙරටුගාමීන්ගේ කුලී හේවායෝ ටිකක් අපේ විශ්වවිද්‍යාල ටික විනාශ කරනවා

Spread the love

විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ පටන් යම් කිසි බලපෑමක් සිදු වුණත් ඒක ශාරීරික, මානසික පීඩනයකට බලපෑවේනැහැ. නමුත් අද වන විට මේ රටේ දරුණුතම පාතාලය විශ්වවිද්‍යාල ඇතුළේ තිබෙනවා. මේ නිසා 91,600ක් වැනි සමස්ත ශිෂ්‍ය පිරිසම පීඩාවට පත්වෙලා.

මේ තත්ත්වය උග්‍ර වන බව කල් තියා අවබෝධ කර ගත් රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමැතිතුමා 1998 අංක 20 දරන නවක වධ පනත සම්මත කර ගත්තා. විශ්වවිද්‍යාලවලට වගේම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලටත් ඒ පනත බලපානවා.

නවක වධය නිසා මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල 14 දෙනකු මිය ගොස් තිබෙනවා. ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහතිකයට කිසිදු වටිනාකමක් නැතිව යනවා. විශ්වවිද්‍යාල උපාධියක් ගැනීම රැකියාවක් ලබාගැනීමට ඍජු ලෙස යොදා ගැනීම අපහසුයි.

පෞද්ගලික උපාධි පිරිනමන ආයතන 19ක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් ඇතුළු ආයතන 19කුත් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරියකු එක්ක රජයේ විශ්වවිද්‍යාල උපාධිධාරියකුට තරග කරන්න අමාරුයි. පෞද්ගලික අංශය ඒ අයට රැකියා දෙන්න කැමැති නැහැ. රජය උපාධිධාරීන්ට රැකියා දෙන්නෙ ඔවුන්ගේ සේවයක් ලබා සිටින නිසා නෙවෙයි. රස්සාවක් දෙන්න ඕන කියල අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් රටේ නිර්මාණය වී තිබීම නිසයි.

සමහර තැන්වල නවක වධය දෙන්නෙ අලුතෙන් එන අයට විතරක් නෙවෙයි. ‘සේෆ් හවුස්’ කුලියට අරගෙන වධ දීම, ලිංගික අතවර කරන්න භාවිත කරනවා.
මේ නවක වධ කල්ලි නවකයන්ට ඉංග්‍රීසි කතා කරන්න දෙන්නෙ නැහැ. ඒක තමයි අද විශ්වවිද්‍යාල සංස්කෘතිය.

නවක වධය ගැන පැමිණිලි කළත් ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. 2016-2017 වසරේදී නවක වධය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 637ක් විශ්වවිද්‍යාල අත්හැරලා ගොස් තිබෙනවා. 2015-2016 අධ්‍යයන වර්ෂයේ 1,352ක් විශ්වවිද්‍යාල හැර ගොස් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රකින්න ඕන කියන තක්කඩි ශිෂ්‍යයෝ තමයි ඔවුන් පන්නලා තියෙන්නේ.

වසරකට 25,000 – 26,000ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා විට එක්දහස් ගණනක් නවක වධයට බියෙන් විශ්වවිද්‍යාලය හැර යනවා.

අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් වැය කරනවා. සාහසික ක්‍රියාකාරකම්වල යෙදෙන අයගෙ බුද්ධිය මනින ක්‍රියාකාරකමක් මම කියන්නම්. ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය වර්ජනය නිසා මේ දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාල වසා තිබෙනවා. ඉන්ජිනේරු පීඨයේ සිසු සිසුවියන් 1,640ක් ඉන්නවා. ඔවුන්ගෙන් 48 දෙනෙක් 80% පැමිණීම සම්පූර්ණ කරලා නැහැ. ඔවුන්ගෙන් වැඩ වර්ජනය කරන 4 දෙනාගේ පැමිණීම 0%යි. හැබැයි ඉන්ජිනේරුවො වෙන්න යන්නෙ. ලෝකය දැක්කොත් ලංකාවේ විශ්වවිද්‍යාල විකාර මඩුවක් කියල තක්සේරු කරනවා.

පෙරටුගාමීන් විසින් මෙහෙයවන කුලී හේවායෝ ටිකක් මේ රටේ විශ්වවිද්‍යාල විනාශ කරනවා. පෙළපාළිවලට ළමයි ගේන කොට ශිෂ්‍ය නායකයන්ට කෝටි ගණන් සල්ලි ලැබෙනවා.

නවක වධය ඇතුළු තොරතුරු ගන්න පැය 24ම වැඩ කරන මෙහෙයුම් කාර්යාලයක් අපි ආරම්භ කළා. ඒකට පසුගිය අවුරුදු දෙක තුළ පැමිණිලි 414ක් ලැබී තිබෙනවා. ද්‍රවිඩ හෝ මුස්ලිම් ශිෂ්‍යයන් නවක වධ ක්‍රියාවලට සහභාගි නොවන බවට ඇතැම් ළමයි ලිපි එවා තිබෙනවා. සිංහල ශිෂ්‍යයෝ සිංහල සමාජය විනාශ කරනවා.

අපි වොෂින්ටන් ජාත්‍යන්තර සම්මුතියට ඇතුළත් වී සිටිනවා. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ පැමිණීම 80%ක් විය යුතුයි. අපි ඒක ආරක්ෂා කරන නිසා මෙහේ උපාධිධාරියකුට ලෝකයේ ඕන රටකට ගොස් පශ්චාත් උපාධියක් කළ හැකි පිළිගැනීමක් තියෙනවා. පේරාදෙණියේ ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට ඉඩ දුන්නොත් ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියක් කිසිම රටක් පිළිගන්නෙ නැති තත්ත්වයට පත්වෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝකයේම ප්‍රතික්ෂේප වෙනවා. ඒක මේ පෙරටුගාමීන් දන්නවා. ඒක දැන දැනම විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්නේ සමාජය විනාශ කරන්න තිබෙන වෛරය නිසයි. දුප්පත් මවුපියන්ගේ දරුවන් අල්ලගෙන මොළ හෝදල තමයි ඒක කරන්නෙ. අද අවාසනාවකට පාතාල මාෆියාව තමයි විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය පාලනය කරන්නෙ. ඒක තමයි අපි වෙනස් කරන්න හදන්නෙ. අපේ රට විනාශ කරන හොර තක්කඩි පිරිසකට තමයි පෙරටුගාමීන් කියන්නේ.

කැටවලට සල්ලි එකතු කරලා විශ්වවිද්‍යාලයේ යහපත වෙනුවෙන් කිසි වැඩක් කරල නැහැ. එහෙම කළා කියලා කියන්න පුළුවන් නම් මම අභියෝග කරනවා. සල්ලි එකතු කරල හැන්දෑවට අරක්කු බොන එක තමයි කරන්නේ. එහෙම කරල දරුවන්ට වධ දෙනවා.

අද ශිෂ්‍ය නායකයෝ යන වාහන අගමැතිලාටත් නැහැ. කොහෙන්ද ඒ සල්ලි. පිටරටින් එවනවා.

කලාකරුවන්ට විවේකයක් දෙන්න ඕන නිසා ජෝන් ද සිල්වා රඟහලයි එල්පීන්ස්ටන් රඟහලයි වහල කියල කලාකරුවෝ චෝදනා කළා. ඒත් ජෝන් ද සිල්වා රංග ශාලාව 2012 දී කඩලා චෝගම් එක වෙනුවෙන් එතැන රථගාලක් දැම්මා. ඒක දැන දැනම මේ කලාකාරයෝ අද අපට චෝදනා කරනවා.

එල්පින්ස්ටන් එක වහලා තියෙන්නෙත් 2012දීයි. අවුරුදු 3ක් තිස්සේ කිසි දෙයක් කරලා නැහැ. අපි තමයි නවීකරණය ආරම්භ කෙළේ. ලබන නොවැම්බර්වලදී ඒක විවෘත කරන්න අපි කටයුතු කරනවා. මාධ්‍ය හමු තිඵයල බොරු කියල සමස්ත කලාකරුවන්ගේ ගෞරවය නැති කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

RSL

Related Posts