වාසි වුවත් නැතත්, පැරැණි හෝ අලූත් ක‍්‍රමයට මැතිවරණය අත්‍යාවශ්‍යයි

Spread the love

විපක්‍ෂයට වාසි වුවත් නැතත් අලූත් ඡන්ද ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඡුන්දය පවත්වනවාට තමා එකඟ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයන් සිය නිල නිවසේදී පසුගියදා (26) හමු වූ අවස්ථාවේදී ය.

වැදගත් වන්නේ ඡන්ද ක‍්‍රමය නොව ඡන්දය පැවැත්වීම බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. යහපාලනයක මූලික අරමුණක් වනුයේ නිසි කලට ඡුන්ද පැවැත්වීම වුවත් යහපාලනය ගැන කතා කරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුවම මැතිවරණ කල් දැමීමට ක‍්‍රියා කිරීම ජනතාවගේ බලාපොරොත්තු සුන් කිරීමක් බවත්, ජනතාව සතු අයිතිය උදුරා ගැනීමක් බවත් මෙහිදී විපක්‍ෂ නායකතුමා ප‍්‍රකාශ කළේය. තම පාලන කාලය තුළ නිසි කාලයටත් පෙර මැතිවරණ පැවැත් වූ බව සඳහන් කළ එතුමා ඇතැම් පාර්ශ්වයන් විසින් උතුරේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් දොස් පැවරුව ද එම මැතිවරණ ප‍්‍රතිඵල ගැන නොසලකා උතුරේ ජනතාවට තම ඡුන්ද අයිතිය පාවිච්චි කිරීමට ඉඩකඩ සලසා දුන් බව ද විපක්‍ෂ නායකවරයා කීවේය.

සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර ඇති අතර ඒ ගැන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්වත් කිරීමට හා ඒ සඳහා ඒ මහතාගේ සහාය ලබා ගැනීම මෙම හමුවේ අරමුණ විය. ඔවුන් විසින් ගොනුකරන ලද නඩුවට අදාළ ලිපි ගොනුවක් ද මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන ලදී.

RSL

Related Posts