නව ව්‍යවස්‌ථාවෙන් මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි

Spread the love

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා විසින් රචිත “පළාත් සභා” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයට එක්‌වෙමින් ඇමැති මනෝ ගනේෂන් මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද පළාත් සභාවලට බනින අය ඉන්නවා. ප්‍රශංසා කරන අයත් ඉන්නවා. 13 වැනි සංශෝධනය සහ ඉන්දු-ලංකා ගිවිසුම ඇති කරගත් අවස්‌ථාවේදී බලපෑමක්‌ ඇති වුණා. ඒ ගිවිසුමට අනුව බලය බෙදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවට විදේශයකින් ගෙනවිත් හඳුන්වා දුන් එකක්‌. නමුත් නිදහස ලැබීමට පෙර අපේ රටට ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය බව ප්‍රධාන දේශපාලන පක්‍ෂයක නිර්මාතෘ වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා යෝජනා කළා. ඒ කාලේ අද වගේ බලපෑම් තිබුණේ නෑ. එතුමා චෙල්වනායගම් සමග ගිවිසුමක්‌ අත්සන් කළත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ගිවිසුමේ බලය බෙදීම ගැන විවෘතව සාකච්ඡා කරලා තියෙනවා. පළාත් සභා කියා සඳහන් නොවුණට ප්‍රාන්ත සභා, රට සභා වැනි වචන භාවිත කරලා තිබුණා.

1987 සිට 13 වැනි සංශෝධනය සිදුවුණා. එහි සඳහන්ව ඇති බලතල ක්‍රියාත්මක කරන්න පළාත් සභාවලට අවස්‌ථාව තිබුණේ නැහැ. ඒ නිසා තමයි අද අලුත් ව්‍යවස්‌ථාවක්‌ හදන්න අපි යොමු වෙලා තියෙන්නේ.

මේ මෙහෙයුම් කමිටුවට හිතවාදී යෝජනා වගේම අහිතකර යෝජනාත් එනවා. නමුත් බහුතර කැමැත්ත වන්නේ රටේ ඒකීයභාවය ඇති කිරීමයි. ඒ වගේම මේ රටේ බුදු දහමට තිබෙන ස්‌ථානය අකුරක්‌වත් වෙනස්‌ නොකර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යැමට අපි එකඟ වෙලා තියෙනවා.

RSL

Related Posts