මුස්ලිම් පල්ලිවලින් ඇල්ලූ ආයුධ ආපසු දෙන්න ගිය වෙලම්බඩ OICගේ වැඩ තහනම්

Spread the love

වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයෙන් අත්අඩංගුවට ගත් මන්නා පිහි සහ අත්පොරව තොගයක් යළි භාර දීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බන්දුල බණ්ඩාර මහතාගේ සේවය වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කිරීමට මහනුවර ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබේ.

හජ්ජි උත්සවය සදහා ගවයන් ඝාතනය කිරීමට මෙම මන්නා පිහි සහ අත්පොරව අවශ්‍ය බවට මුස්ලිම් දේවස්ථානය මගින් කළ දැනුම් දීමකට අනුව වැඩබලන ස්ථානාධිපතිවරයා ඒවා මුදා හැරීමට කටයුතු කර තිබෙන බව ද විමර්ශනවල්දී හෙළි වී ඇත.

කිසිදු උසස් නිලධාරියකුගේ අනුමැතියකින් තොරව පොලිසියේ නඩු භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර තිබූ මන්නා පිහි හැත්තෑහයක් (76 ක්) සහ අත්පොරව දහතුනක් (13ක්) සහිත එම අවි තොගය මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයකින් පසු මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇත.

පොලිස් පරීක්‍ෂක බන්දුල බණ්ඩාර මහතා මහනුවර පොලිසියට මාරු කිරීමෙන් පසු මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

පාස්කු ප‍්‍රහාරවලදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් අතර වෙලම්බොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු ද සිටින අතර ඔහු වෙලම්බොඩ බුදුපිළිම කඩා දැමීමට ද සම්බන්ධ වූවෙකි. එම සිද්ධියෙන් පසුව වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා විසින් ප‍්‍රදේශයේ පල්ලිවල තිබූ කඩු, මන්නා ඇතුළු ආයුධ අත්අඩංගුවට ගනු ලැබීය.

මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වීමත් සමග විශේෂ රාජකාරී සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා එහි ගිය පසුව වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස ආයුධ නැවත පල්ලි වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි.

RSL

Related Posts