සජින් වාස්ගේ දේශීය බැංකු ගිණුම් තුල පමණක් රු.කෝටි ප්‍රකෝටි ගණනක මුදල්! නීතිපතිගෙන් අධිචෝදනා

Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ පළාත් බද මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.

සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව රුපියල් මිලියන 306කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ වරදට යටතේ නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

2015.02.02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලැබූ විමර්ශණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වංචාව හෙළිදරව් වී ඇත.

සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් 2010 වසරේ පැවැති පාර්ලිමෙන්තු මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා බාර දෙන විට COSMOS යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් ඔහු සතුව පැවති අතර, එම ව්‍යාපාර සමූහය යටතේ ව්‍යාපාර 21 ක්ද පවත්වා ගෙන ගොස් ඇති බවයි.

14 වන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට පෙර ඔහු විසින් මෙම ව්‍යාපාර සියල්ලකම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත්ව, ඔහු සතු ව්‍යාපාර කොටස් ඔහුගේ බිරිඳ වෙත හුවමාරු කළ ද, සාක්ෂිවලින් හෙළිදරව්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් අනතුරුව ද, ඔහු විසින්ම මෙම ව්‍යාපාර සියල්ලකගේම මෙහෙයුම් කටයුතු සක්‍රීයව පවත්වා ගෙන ගොස් ඇති බවයි.

පවතින ලේඛනවලට අනුව, ඔහු මෙම ව්‍යාපාරයන්ගෙන් ඈත්ව කටයුතු කරන බව පෙන්නුම් කෙරුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන යන්ගෙන් හෙළිවන්නේ ගුණවර්ධන මහතා විසින් එකී ව්‍යාපාර 21 න් 07 ත් උපයෝගි කර ගනිමින් සැක කටයුතු ගනුදෙනුවල නිරත වී ඇති බවයි.

ඔහු විසින් මෙම ව්‍යාපාරයන් සතු ගිණුම් තුළ රුපියල් 458,747,757.70 ක මුදලක් තැන්පත් කොට ඇත.

ගුණවර්ධන මහතා විසින් මෙම මුදල් රැගෙන විත් ඔහු විසින් නම් කරන ව්‍යාපාරයක නාමය යටතේ පවත්වා ගෙන යනු ලබන ගිණුමක් තුළ එම මුදල් තැන්පත් කිරීමට කටයුතු කර ඇති බව හෙළිදරව් වී ඇත.

මෙම ව්‍යාපාර නාමයන් යටතේ පවත්වා ගෙන ගොස් ඇති බැංකු ගිණුම් හි ගිණුම් වාර්තා තුළින් ද මේ බව පෙනී යයි. තමා විසින් මෙම ව්‍යාපාරයන්ගේ හිමිකම් හා අධ්‍යක්ෂ ධූර අතහැර ඇති බැවින්, ගුණවර්ධන මහතාට මෙකී ව්‍යාපාරයන්ගෙන් මුදල් ලබා ගැනීමට කිසිදු නෛතික අයිතියක් නොමැති වුවද, ඔහු විසින් මෙකී ව්‍යාපාරයන්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බව වැඩි දුරටත් අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ ආකාරයෙන් මෙම ව්‍යාපාරයන්හි බැංකු ගිණුම් තුළ තැන්පත් කිරීමට තරම් විශාල ප්‍රමාණයක මුදලක් ලැබීමට තරම් ගුණවර්ධන මහතා හා ඔහුගේ බිරිඳ සතුව ආදායම් මාර්ග කිසිවක් නොමැති බව ඔවුන් විසින්ම පිළිගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇති බව ද සඳහන් වෙයි.

මෙම මුදල් තැන්පතුවලින් විශාල ප්‍රමාණයක් සිදුව ඇත්තේ, ඔහු 14 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරූ කාල සීමාව තුළදී විම ද සැලකිය යුතු කරුණක් බව නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම තැන්පතු සියල්ල හා ඔහුගේ බිරිඳගේ අදායම (ඔහු විසින් නීති විරෝධිව මෙම ව්‍යාපාරයන්ගෙන් ලබා ගන්නා ලද මුදල් ප්‍රමාණයද ඇතුළුව) අතර හිඟ ශේෂය රුපියල් 306,268,194.7ක් වන බවද හඳුනා ගෙන තිබේ.

මෙසේ මුදල් තැන්පත් කිරීමට තරම් විශාල අදායමක් ලැබුණේ කෙසේ ද යන්න මෙන්ම ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු ධූරය දරන සමයේ මෙම තැන්පතු සිදු කළේ කෙසේ ද යන්න සාධනීය ලෙස පැහැදිලි කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

RSL

Related Posts