මොරගහකන්ද විදුලි බල උත්පාදනයට සුදානම්

Spread the love

රජරට ජනතාවගේ සිහිනයක්‌ මල් පල ගන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා දායක කර ගනිමින් එහි පරීක්‍ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 දා දහවල් සුබ මොහොතින් ජනපති අතින් සිදුවිය.

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්‌ටමේ සිට මීටර් 178 ක ප්‍රමාණය 01 දා වනවිට සම්පූර්ණ වී තිබිණි. පෙරේදා (2 දා) දහවල මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්‍ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්‍ෂා කිරීම සඳහා ජලය නිකුත් කිරීම සිදුකරන ලදී.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙය රජ රට ජනතාව වෙනුවෙන් තමා දිගු කලක සිට දුටු සිහිනයක්‌ බවයි. එම සිහිනය මල්ඵල ගැන්වෙන දිනය උදාවනතුරු තමා බලාසිටි බවද හෙතෙම පැවැසීය.

නකල්ස් කඳු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.

පසුගිය 02 වනදා සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

ජලයේ අධි පීඩනය මත කි‍්‍රයාත්මක වන ටර්බයින් යන්ත‍්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද සමන්විතය.

මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය කි‍්‍රයාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

මෙ මඟින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක, මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, මහනුවර දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සහය පළකරමින් ජනාධිපතිවරයා සමඟ එක්‌වූ ගම්පොළ හිටපු නගරාධිපති සරත් හෙට්‌ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ ද මහවැලි අධ්‍යක්‍ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු ද මීට එක්‌ව සිටියහ.

RSL

Related Posts