මල්වඩම් අනවශ්‍යයි!

Spread the love

malwadamමොහොමඩ් අලි ගිය සතියේ මැරුණා. ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් හැටියට වගේ ම එයාගේ දේශපාලනික මැදිහත්වීම, ඉස්ලාම් ආගමට හැරීම වගේ ම පස්සෙ කාලෙක පාකින්සන් රෝගයට ගොදුර වීම ගැනත් මම අහලා තියෙනවා; එයා අති දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම ශ්‍රේෂ්‍ඨ පුද්ගලයෙක් කියන එන ගැනත් මට විවාදයක් නෑ. ඒත් එතනින් එහාට මට පුද්ගලික ව එයා ගැන එහෙම ලොකු හැඟීමකුත් නෑ; මට බොක්සින් ගැනත් කිසි උනන්දුවක් නෑ. ඒත් අලිගේ මරණය ගැන ආරංචිය ඇවිත් ටික වෙලාවක් යද්දි මගේ ෆේස්බුක් නිවුස් ෆීඩ් එක මොහොමඩ් අලිගේ ෆොටෝ, රුවන්වැකි වගේ දේවල්වලින් පිරෙන්න ගත්තා. එක පාරට හැමෝම මොහොමඩ් අලිගේ රසිකයෝ වෙලා!

සාමාන්‍යයෙන් ඕනම ප්‍රසිද්ධ කෙනෙක් මැරුණම සිද්දවෙන මේ දේ ගැන මේ ආටිකල් එක කියවද්දියි මට තේරුණේ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. දේවයියා බෝපන්නා ලියල තිබුණු දේවලුත්, මට ෆේස්බුක් එකේ දකින්න ලැබුණු දේවලුත් එක්ක මේ වගේ සිද්ධවලදි සෝෂල්මීඩියාවලකරන කියන දේවල් එක්ක අපිට චරිත වර්ග කීපයක් අඳුනාගන්න පුළුවන්.

1. එක දාන අය

මොහොමඩ් අලි වගේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක් මැරිලත් ඒ ගැන පෝස්ට් එකක් නොදැම්මොත් එහෙම මම ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ගොඩයෙක් කියල අනිත් අය හිතන්න පුළුවන්නේ. ඒ නිසා ඉක්මණට විකිපීඩියා එකෙන් විස්තර පොඩ්ඩක් හොයාගෙන එයාගේ ෆොටෝ එකක් එක්ක රුවන් වැකියක් දානවා. ඒත් ඒව කරන්න වෙලාවක් නැත්නම් වෙන කෙනෙක්ගේ පෝස්ට් එකක් RIP කියල දාලා ෂෙයාර් කරන්නත් පුළුවන්.

2. ලයික් පෙරේතයෝ

‘පෝස්ට් එකට ලයික් ගොඩක් වැටෙද්දි එන සතුට සල්ලිවලට ගන්න බෑ’ කියල අපි හැමෝම දන්නවනේ. ඉතිං මේ වගේ වෙලාවට ටිකක් නැගල යන පෝස්ට් එකක් දැම්මොත් සෑහෙන ලයික් ගානක් ගන්නත් පුළුවන්. මැරුණ කෙනාගෙ රුවන්වැකියක් හොයාගන්න වෙලාවක් නෑ වගේ නම් (සමහර විට එයා නැගල යන රුවන්වැකි කියල නැද්ද දන්නෙත් නෑනේ) අයින්ස්ටයින්ගේ වගේ කාගෙහරි එකක් අරන් මැරුණ කෙනාගේ ෆොටෝ එකක් එක්ක දැම්මත් අවුලක් නෑ. කවුරුත් ඕක ගැන හොයන්න යන්නෙ නෑනේ RIP එකකුත් එක්ක ෂෙයාර් කරල දානවා මිස.

rip-ali

3. ෆෑන්ස්ලා

මේ වගේ සෙලිබ්‍රිටිලට ඇත්තට ආදරේ කරන, එයාලා ගැන පොත්, චිත්‍රපටි එකතුකරන එයාලා වගේ වෙන්න උත්සාහ කරන අයත් ඕන තරම් ඉන්නවා. එයා ජීවත්වෙලා ඉන්නකන් ෆේස්බුක් එකේ යූටියුබ්වල එයාගේ වැරදි කියන අයට පිටු ගණන් කොමන්ට්වලින් උත්තර දීලා එයාව බේරගත්ත අයට, තමන් ආදරේ කරන වීරයාගේ නික්ම යාම සෑහෙන දුක්බර දෙයක් වෙන්න පුළුවන්. මෙච්චර කල් ‘මම තරම් එයාට ආදරේ කරපු ෆෑන් කෙනෙක් නෑ’ කියල හිතන් ඉඳලා, දැන් මැරුණට පස්සෙ අනිත් අය දාන “ශෝකප්‍රකාශවලින්” නිව්ස් ෆීඩ් එක පිරෙද්දි එයාලට, “නුඹට ඉන්නෙ මං විතරද” වගේ හිතෙනවා ඇති.

4.විරෝධාකල්පිතයෝ

හැමෝම අර මැරැණ කෙනා ගැන කතාකරද්දි මේ වගේ අයට මළ පනිනවා. ලංකාවේ නම් වාමාංශිකයෝ සහ ජාතිකවාදියෝ වගේ ටිකක් “ප්‍රබුද්ධ” අය තමයි වැඩිපුර මේ කාණ්ඩයට අයිති වෙන්නේ. පිටරට නළුවෝ, ගායකයෝ ගැන දුක්වෙන අය ලංකාවේ ගායකයෝ, නළුවෝ ගැන ඒ වගේ පෝස්ට් දාන්නෙ නැති එක එයාලට සෑහෙන්න අවුල්. “ඇයි හැමෝම මේ ඩේවිඩ් බෝවි ගැන පෝස්ට් දාන්නේ; අපේ ලංකාවේ ඇන්ටන් ජෝන්ස් ගැන කවුරුත් දුක් වෙන් නැත්නෙ ඇයි” වගේ ප්‍රශ්න තමයි එයාලට තියෙන්නේ.

5. විවේචකයෝ

මේ වගේ අලුතින් එන ඕනම ට්‍රෙන්ඩ් එකක් අල්ලගෙන විවේචනය කරන කට්ටිය; ඉස්සර වගේ නෙවෙයි; දැන් ෆේස්බුක් තියෙන නිසා හිතට එන ඕන තකතීරු කතාවක් වුණත් දෙපාරක් හිතන්නෙ නැතුව ‘මෙමෙ ෆේස්’ එකක් එක්ක දාලා දාන්න පුළුවන්. මේක ලියන මං වගේ කට්ටියත් අයිති වෙන්නෙ මේ කාණ්ඩයට ම තමයි. ඒ විතරක් නෙවෙයි, මේ වගේ ආටිකල් ෂෙයාර් කරන අයත් ඉතින් මේ බෝට්ටුවෙම තමයි.

ෆේස්බුක් වගේ සෝෂල්මීඩියා නිසා අපේ ජීවිතේ විතරක් නෙවෙයි, මරණය පවා වෙනස්වෙලා. ඇත්ත මළගෙවල්වල වගේ මල්වඩම් අරන් යන්නවත්, “අපගේ බලවත් ශෝකය” කියලා බැනර් එල්ලන්නවත් ඕන නෑ. සමහර විට ජීවිතේට නොලැබෙන තරම් ලයික් සහ ෂෙයාර් මැරුණු අයට අරන් දෙන අපි වගේ ෆේස්බුක් වීරයන්ගෙන් වෙන සේවය අපි මීට වඩා අගයකරන්න ඕන කියලයි මම නම් හිතන්නේ.

-චන්දන ප්‍රසන්න-

Loading...

RSL

Related Posts