ඉතිහාසයේ ප්‍රථම වතාවට රජ මැදුරේ දොරටු ජනතාවට ඇරෙයි

Spread the love

26රජ මැදුරක සුවපහසු ජීවතයට වඩා පොදු ජනතාව සමඟින් ගෙවන ජීවිතය වඩා සුවදායක බවත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මුදල් සම්භාරයක් රටේ රාජ්‍ය නායකයා සඳහා යෙදවීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එහෙයින් තමා රජ මැදුරේ ජීවිතයෙන් මිදි ඒ වෙනුවෙන් වැය වෙන අතිවිශාල ධනස්කන්ධය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් යෙදවීම කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරය සහ ගෝල්ඩන් මන්දිරය පාසල් දරුවන් සහ මහජනතාව සඳහා විවෘත කිරිමේ ඓතිහාසික අවස්ථාවට එක් වෙමිනි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙය ඊයේ (08) සිට මෙම මස 14 වෙනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබේ. චාම් මෙන්ම මහත් අභිමානවත් අයුරින් පැවැති මෙම අවස්ථාවට පාසල් දරුවන් මෙන්ම ආරාධිත අමුත්තන් රැසක් එක්වී සිටියහ. විවෘත කිරීම සංකේතාත්මකව සිඳු කළ ජනාධිපතිවරයා අනතුරුව පාසල් දරුවන් සමඟ සම්මුඛ සාකච්ඡාවකටද එක් විය. වෙනදා ප්‍රභූවරුන්ගෙන් පමණක් පිරී තිබෙන ජනාධිපති මන්දිරය ඊයේ පොදු ජනතාවගෙන් අතුරු සිදුව නොමැතිව පිරී තිබුණි. කෙටි චාම් උත්සවය අවසානයේ පාසල් දරුවන් අතරට යමින් දරුවන් සමඟ සුහඳ කතා බහකට එක්වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ සුවදුක් විමසීමටද අමතක නොකළේය. කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තු කටයුතු සහ ආරක්ෂක හේතුන් මත ජනතාව වෙනුවෙන් අඛණ්ඩව විවෘත කර තැබිය නොහැකි බව ජනාධිපතිවරයා එහෙත් සෑම වසරකම මාසයක පමණ කාලයක් කොටුව ජනාධිපති මන්දිරය ජනතාව සදහා විවෘතව තැබිමට කටයුතු යොදන බව අනාවරණය කළේය. එසේම කොටුව ජනාධිපති මන්දිරය විවෘතව නොතබන කාලවලදී මහනුරව සහ නුවර එළිය ජනාධිපති මන්දිර ජනතාව සදහා විවෘතව තැබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

12 (4)

“කොටුව ජනාධිපති මන්දිරයේ රාජ්‍ය නායකයාගේ පාවිච්චියට යොදා ගැනීම අති විශාල වියදමක්. ජනාධිපතිවරයා නවාතැන ලෙස යොදා ගැනීමෙන් මසක විදුලිබිල පමණක් රුපියල් ලක්ෂ හැත්තෑපහක් ගෙවීමට සිදු වෙනවා. ජනාධිපතිවරයෙක් පදිංචි නොවුවද විදුලි බිල රුපියල් ලක්ෂ විසි පහක් තිහක් යනවා. ඊට හේතුව භූගත මන්දිරයක් තිබීමත් ඒ සඳහා අඛණ්ඩව වායුසමීකරණ යෙදීමට සිදුවීමයි. භූගත මන්දිරියේ වායුසමීකරණ ඉවත්කළහොත් නඩත්තුව අපහසුවි කඩා වැටීමේ අවධානමක් තිබෙනවා. එහි නඩත්තුවට පැය විසිහතර විදුලිය ලබා දිය යුතු වෙනවා. ජල බිල්පත් ලක්ෂ හතළිහකට වඩා ඉහළයි. ඒ නිසා ජනාධිපතිවරයා නතරවී සිටීමේදී සේවකයන් ආරක්ෂකයන් ඇතුළු මුළු වියදම ලක්ෂ 150ක් පමණ වෙනවා“ සියල්ල සැලකිල්ලට ගෙන මේ තීන්දුව ගත් බව ජනාධිපතිවරයා කීවේය.

077- 3086366 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මඟින් මෙය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සහ ජනතාවට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

RSL

Related Posts