කළවැද්දෝ තොට ලැජ්ජා නැද්ද..??

Spread the love

Sarath Fonsekaජෙනරාල් සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකා, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා යන කාලයත් සමඟ වෙනස් වූ මෙකී නාමයන්ගෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බව ඔබ දනී. මොහු කාලයත් සමඟ කළ කී දෑද ඔබට අමතක නැතිව ඇත.

2010 දී එක්සත් ජාතික පක්ෂයේත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රාණ ඇපකරුවෙකුව ජනාධිපති සිහින දුටු ජෙනරාල් සරත් ෆොන්සේකා ඉන් පරාජයට පත්ව රාජපක්ෂලාගේ වෛරයක්කාරයෙකු බවට පත්විය. රාජපක්ෂලාගේ මෝඩ කෲර පළිගැනීම් හමුවේ වීරයෙකු වූ සරත් ෆොන්සේකා යළි වසර දෙකකින් එළියට පැමිණියේ ඔහු කළ කෙන්ගෙඩියකින් නොව ඔහුට දිවිහිමියෙන් ආදරය කළ මිනිසුන් අතලොස්සකගේත් ලොව වටා සිටි ප්‍රගතිශීලි ආධාර කරුවන්ගේත් කැපකිරීම් නිසාවෙනි.

එදා 2010 දී මහින්දට එරෙහිව ෆොන්සේකා වේදිකා උඩ උඩුලෑවේ අහස උසට ගහන බදුවලටත්, පොදු ජනතාව දුක් විදිද්දී රාජපක්ෂ පවුල විදිනා සුරසැප ගැන කියමිනි. ඔහුගේ යුද වීරත්වය ප්‍රධානම අලෙවි භාණ්ඩය විය. 2015 දීත් ඔහු එම පරණ තැටියත් රාජපක්ෂලාගේ මෝඩ කමට සිදුකළ පළිගැනීම් සමූහයත් අවියක් කොටගෙන අලෙවි කළේය.

පැවති රාජපක්ෂ රෙජීමය පරාජයට පත්වීමත් සමඟම රාජපක්ෂවරුන්ගෙන් බැට කා අසාධාරණයට ලක්වූ සරත් ෆොන්සේකාට ඉතා කෙටි කලක් තුළ සාධාරණය ඉටුවිය. ඔහුට ලැබිය යුතු සියලු ගෞරව වරප්‍රසාද ලබාදීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කටයුතු කළහ. එහෙත් රාජපක්ෂවරුන්ගෙන් අතවරයට පත් බොහෝ ජනතාව සිටිති. ඔවුන්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැත.

ෆොන්සේකාගේ නිදහසත් ඔහුගේ දේශපාලන අනාගතයත් වෙනුවෙන් එදා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව බොහෝ ආධාර සහ කැපකිරීම් කළ පිරිස් සිටියහ. ෆොන්සේකලාට දේශපාලනය නිසාවෙන් නැති වූ දෙයක් නැත. ඔවුන් අසරණ වූ අවස්ථාවේ මෙරට සහ පිටරට බොහෝ පිරිස් ඔවුන් වෙනුවෙන් උදව් කළහ. ඒ ෆොන්සේකා කියූ දේ විශ්වාස කළ නිසාය. ඔහු මෙරට දේශපාලනයේ පරමාදර්ශී චරිතයක් වනු ඇති බවට වන බලාපොරොත්තුවත් නිසාවෙනි. එහෙත් අද ඔහු තම පෞද්ගලික අරමුණු පමණක් මුදුන්පමුනුවා ගන්නෙකු වී හමාරය. ඔහු අගමැති රනිල්ට පිණ්සෙන්ඩු වෙමින් අමාත්‍යධුරයක් හිමිකර ගත්තේය. එහෙත් එම අමාත්‍යංශයෙන් මෙතෙක් සිදු වූ එකඳු දෙයක්වත් වාර්තා වී නොමැත.

දැන් ෆොන්සේකා රුපියල් කෝටි හතක අති සුපිරි වාහනයක් ජනතා මුදලින් ඇනවුම් කරයි. ඔහු ගැන විශ්වාසය තබමින් ජනතාවගේ මුදලින් ගොඩනැඟුනු පක්ෂය ඔහුට සිතු විටෙක විසුරුවා හරී. මෙය ෆොන්සේකාගේ ක්‍රමය විය හැක. එහෙත් එය කිරීමට ඔහුට සදාචාරත්මක අයිතියක් නැත. එදා ෆොන්සේකා තම ප්‍රතිවාදීන්ට ඔවුන්ගේ අකටයුතුකම්වලට පහර එල්ල කළේ “කළවැද්දන්” කියාය.

අද දේශපාලන බලය හිමි තැන සරත් ෆොන්සේකා කටයුතු කරන අයුරු දැක ඔහුගේ ප්‍රතිවාදීන් අසනු ඇත්තේ “කළවැද්දෝ තොට ලැජ්ජා නැද්ද..?” කියාය.

RSL

Related Posts