දරුණු ගණයේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් පිටුවහල් කිරීම කල්යයි

Spread the love

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ.

මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(18) අළුයම මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුණි.

ඊයේ(17) දිනයේදි මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගත් දයාන් බුද්ධිම නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් අතර නිලාන් රොමේෂ් යන අය අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වු මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පිරිසෙන් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරිමෙන් පසු අද අලුයම 5.55 ට පමණ යු.එල්.226 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

මෙලෙස පිටුවහල් කළ දෙදෙනා වන්නේ පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් යන අයයි. මොවුන් මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණි.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අලුයම මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් සිව් දෙනෙකුගෙන් තවදුරටත් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් විසින් ප්‍රශ්න කිරීම් සිදුකරයි.

එම හය දෙනා අතර සිටි දයාන් බුද්ධිම පෙරේරා යන අය ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබීය. දැනට අනාවරණ වි ඇති තොරතුරු අනුව මොහු ගුවන් හමුදාවෙන් පළා ආ අයෙකු වන අතර මනුෂ්‍ය ඝාතන කිහිපයකටද සම්බන්ධ අයෙක් බවට සැක කෙරෙයි.

මේ අතර මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ යන පුද්ගලයා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමට රැගෙන ගියේය.

ඔහු 2010 වසරේදි ගිනිඅවි ජාවාරමකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර 2018 වසරේදි මාතරදි වෑන් රථයක් කොල්ලාකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් වෙයි.

එමෙන්ම 2005 වසරේදි පෞද්ගලික මුල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ලකෑමේ සිද්ධි දෙකකට අදාළව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත් වු අවස්ථාවේ එම නඩුවේ ඇපකරු වී ඇත්තේද නිලාන් රොමේෂ් සමරසිංහ යන අයයි.

ඒ අනුව මාකඳුරේ මධූෂ්ට හා නිලාන් රොමේෂ් යන දෙදෙනාටම ඒ අනුව වරෙන්තු නිකුත් කර තිබුණි.

RSL

Related Posts