අභ්‍යවකාශයට එක්කළ ශ්‍රී ලාංකීය නාමය “රාවණා-01” (වීඩියෝ)

Spread the love

අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි.

රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ආරම්භ කළේ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16ය.

එම අවස්ථාව තරිදු හා දුලානි සජීවීව නරඹනු ලැබුවේ, චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි.

රාවනා වන් චන්ද්‍රිකාවේ සම නිෂ්පාදකයෙකු වන තරිදු දයාරත්න තමන් ඉගෙන ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීමද විශේෂත්වයකි.

ඒ අනුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලය PCC ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයය UOP සටහන් කර තිබුණි.

හෙට පස්වරු 6.30 පමණ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිත අතර එහි කක්ෂගත කිරීම ඇරඹන්නේ ජුනි මස සිටයි.

ඒ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරක සිටයි. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7.6ක්.

ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක් පමණ වූ මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1 ක්. රාවණා වන් යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය හදුන්වනු ලබන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි.

රාවනා වන් චන්ද්‍රිකාව මගින් අපේක්ෂිත ක්‍රියාදාමයන් ගණන පහක්. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම.

චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම. එමෙන්ම කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම.

තරිඳු සහ දුලානි නිර්මාණය කරන ලද රාවන් වන් චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එක හමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා එය ක්‍රියාකළ හැකි බවට විශ්වාස කෙරෙති.

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තැබීම සිදුකර ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතායි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස තරිඳු දයාරත්න මහතා කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තරිඳු දයාරත්න මහතා,

“මෙම චන්ද්‍රිකාවේ සබදතා පද්ධතිය ගොඩනැගිම මගේ කොටසයි. එය ඉතා වැදගත් උප පද්ධතියක් වනවා. මන්ද සන්නිවේදන පද්ධතිය බිඳවැටුනොත් චන්ද්‍රිකාව බිඳ වැටෙනවා .ඇත්තටම මෙය ඉතා වැදගත් කාර්යක්.”

තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ එවක තමන්ට පැවරුණු වගකීම පැහැදිලි කළේ මෙලෙසින්.

“මේ චන්ද්‍රිකාව තමා අක්ෂ වටා කැරකැවෙන කෝණික ප්‍රවේගය අවම කිරිම සදහා අවශ්‍ය පද්ධතිය මම නිර්මාණය කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා මට අවස්ථාව ලැබුණා අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබදව හැදැරීමට, ඉලෙක්ට්‍රොනික හා වැඩසටහන් පිළිබදව.”

RSL

Related Posts