මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට!

Spread the love

ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන M-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව තිබූ බව හෙළිවීමෙන් පසු මේ වන විට අත්අඩංගුවේ පසුවන මධුෂ්ගේ සමීපතම ගෝලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට මාකඳුරේ මධුෂ්ගේ සෘජු සම්බන්ධයක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් කරන ලද අනාවරණයක් අනුව එම කරුණ හා මෙම අති නවීන ගිනි අවිය නුදුරේදීම මෙරටට එවීමට සැලසුම් කරමින් තිබීම අතර සබඳතාවක් වූයේදැයි යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග පවසයි.

දැනට මෙරට ආරක්ෂක අංශ භාවිත කරන M – 16 වර්ගයේ මැෂින් තුවක්කුවට වඩා වැඩිදියුණු කර අසීරු ඉලක්ක ගැනීම වඩාත් පහසු කරන අන්දමින් මෙම M – 39 වර්ගයේ ගිනි අවිය නවීන තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කර තිබීමත් නුදුරේදීම ඒවා මෙරටට එවීමට මධුෂ් කටයුතු කරමින් සිටීමත් පිළිබඳ බරපතළ සැකයක් ඉස්මතු වෙමින් පවතින බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

M – 39 අති නවීන ගිනි අවි රහසේම මෙරටට ගෙන ඒමට සූදානම් වන්නේ කුමන්ත්‍රණකාරී ලෙස දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනයකටද? එසේත් නැතිනම්, එල්ලුම් ගහට නියමව සිටි කුඩු ජාවාරම්කරුවන් එයින් බේරාගෙන එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමටද යන සැකයක්ද මතුව තිබේ.

විශේෂයෙන් මාස දෙකක පමණ කාලයක් තුළ කඩිනම් කෙරුණු කුඩු ජාවාරම්කරුවන් සමඟ කුඩු ඇල්ලීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට අවශ්‍ය ඝාතන සිදු කිරීමට මේ ගිනි අවිය යොදාගන්නට සූදානම් වනවාද යන්නත් සැකයට භාජන වී තිබේ.

අත්අඩංගුවේ පසුවන මධුෂ්ගේ සමීපතමයන්ගෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව M-39 ගිනි අවි කීපයක් ට්‍රෝලර් මඟින් ප්‍රවාහනය කර මිරිස්ස මුහුදු ප්‍රදේශයෙන් රට තුළට ගෙන ඒමේ සැලැස්මක්ද තිබී ඇත.

-මව්බිම-

RSL

Related Posts