ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයකු බව කියන කැලුම් ඉන්දිකගේ පුත්‍රයා සහ තවත් තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට ආසන්න ප්රදේශයකදීය.
මෙම දියමන්ති කොල්ලය සඳහා කැලුම් ඉන්දිකට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.
කොල්ලය සඳහා අවශ්‍ය වාහන ජංගම දුරකථන ලබා දී ඇත්තේ මොවුන් දෙදෙනා විසින් බවත් කොල්ලය සඳහා ද මොවුන් දෙදෙනා සහභාගී වී ඇති බවත් අනාවරණය වී තිබේ.
මෙම දියමන්ති කොල්ලයේ තවත් ප්‍රධාන සැකකරුවකු බව කියන මාතර මල්ලී නැමැත්තා මීට සති කීපයකට උඩදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන කැලුම් ඉන්දික මාකඳුරේ මධුෂ්ගේ මෙරට හෙරොයින් ජාවාරම මෙහෙය වන අතර මොහු මොරටුව ප්‍රදේශයේ දානපතියකු ලෙස ජීවත් වන අයෙකි.
ඇල්පිටිය ප්‍රදේශයේ විහාර ඉදිකිරීම ඇතුළු නොයෙකුත් පිංකම් කරමින් මොහු දානපතියකු ලෙස වෙස්වලාගෙන ජීවත් වන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න ප්‍රේමරත්න, කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.