වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා

Spread the love

වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය.

දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් එලෙස පැවැසූ අමාත්‍යවරයා එහිදී මෙසේද කීවේය.

එදා ප්‍රාදේශීය සභා මැතිවරණයට බය වී අපෙන් ගිය පහළොස්දෙනා ගියේම වැරැදි තොරතුරක් එක්ක. පසුගිය දවසක අපි සාකච්ඡාවක හිටියා. එහිදී හිටපු අමාත්‍යවරයෙක් කියා සිටියා සියයට හතළිස් පහකට වඩා පොහොට්ටුව ඡන්දය ගත්තා කියලා. මට පුදුමයි. මම අරගෙන පෙන්වූවා මගේ ළඟ තිබූ සංඛ්‍යාලේඛන. ඒක හුඟාක් කට්ටිය දන්නේ නෑ. මේක මාධ්‍යවලත් පෙන්වූයේ නෑ. කිව්වේ නෑ. ඒ වගේම ගොඩක් දේශපාලනඥයෝ දන්නෙත් නෑ. මොකක්ද? ඡන්ද ප්‍රතිඵලය කියලා.

නිල වශයෙන් මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵලය ලබාදුන්නෙත් නෑ. මම තමයි ඉල්ලලා ඒක ලබාගත්තේ. කට්ටිය කීවා පොහොට්ටුවට සියයට හතළිස් පහක් තිබුණා කියා. පොහොට්ටුවට තිබුණේ සියයට හතළිහයි දශම ගණනයි. පොහොට්ටුව, ඔරලෝසුව, නයා මේ ඔක්කොම එකතු කරාම තමයි සියයට හතළිස් එකක් පොහොට්ටුවට ඡන්දය තියෙන්නේ. අපේ පහළොස්දෙනා බයවුණේ මෙන්න මේ ප්‍රතිඵලය හරියට දැන ගන්න බැරිවුණ නිසයි. අපේ මුළු ඡන්ද එකතුව දාහත් ලක්ෂ දහදාහක්. කට්ටිය කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලක්ෂ පහක් ගන්න බෑ කියලයි.

එදා ඡන්දය තිබුණු වෙලාවෙ මොනවගේ තත්ත්වයක්ද තිබුණේ කියා ඔබ දැන ගන්න ඕනෑ. ගොවියාටපොහොර ටික නෑ. පොහොර නැතිව මිනිස්සු කොන්තියෙන් හිටියා. ඒ කේන්තියට අපේ ඥාතීන් පවා අපිට විරුද්ධව කතිරය ගැහුවා. අද අපි හමුවුණාම කතා කරනවා එදා කේන්තියට තමයි දුන්නේ අද පසුතැවෙනවා කියලා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාට ජම්පර් අන්දවනවා කීවා. ප්‍රජා අයිතිය අහෝසි කරනවා කිව්වා. මේ වගේ දේවල් කියන විට කවුරුවත් කැමැති වුණේ නෑ. ඒ වගේම රටේ දැඩි නිහඟයක් තිබුණා. අස්වැන්න අහිමිවෙලා තිබුණේ. එදා ඡන්දය ඉල්ලුවේ අපේ ගමේ ඉන්න පියදාස අයියයි මහින්ද මහත්තයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියා ඡන්දායකයා දැනගෙන හිටියේ නෑ. මහින්ද මහත්තයාගේ පෝස්ටර් පමණයි තිබුණේ.

එදා ඒ අය කීවේ මොකක්ද මේ ඡන්දය දිනුවාම මහින්ද මහත්තයා අගමැති වෙනවා කියලා. ආණ්ඩුව පෙරළනවා කියලා. අපේ ඇමැතිකම් ගන්නත් කට්ටිය බලාගෙන හිටියා. අපේ ඩලස් සහෝදරයා හදලා තිබුණා ලේඛනයක් ෂැඩෝ මිනිස්ටර්ස්ලා කියලා. එදා ඇමැතිකම් භාරගන්න හිටපු අය අවුරදු තුනක් ගිහිල්ලත් තාමත් ෂැඩෝ වෙලා ඉන්නවා. ඉස්සරහටත් ඔහොම ගියොත් ෂැඩෝම තමයි.

RSL

Related Posts