‘ලංකා ඊ නිව්ස්’ වාරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හඬ නඟයි

Spread the love

ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත් පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ සහ ලේකම් දුමින්ද සම්පත් මහත්වරුන්ගේ අත්සනින් අද(09) නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර් ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කෙළෙමු. මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ යටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇතිනම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචන වලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විවේචන වලට පිළිතුරු දීම වෙනුවට මර්දනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිව්ස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර ඇමැතිවරයාගෙන් අපි වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

අත්සන් කෙළේ

ලසන්ත රුහුණගේ
සභාපති

දුමින්ද සම්පත්
ලේකම්

RSL

Related Posts