ශ්‍රී ලංකාවේ පළමු හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට (Video)

Spread the love

දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්ය.

නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල හරිත නගරය දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප‍්‍රතිඵලයකි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරුව නව ලග්ගල හරිත නගරය ඉදිකර තිබේ.

නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇති අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැඟිලි ඉදිකර ඇති අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් පළමුව නව ලග්ගල හරිත නගරයේ ප්‍රවිශ්ට ද්වාරය විවෘත කෙරුණු අතර එම අවසථාව සඳහා මැතිඇමතිවරුන් රැසක් එක්වුණි.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ලග්ගල හරිත නගරයේ නා පැලයක් රෝපනය කරනු ලැබුවේ තම සම්ප්‍රාප්තිය සනිටුහන් කරමිනි.

පසුව නව ලග්ගල නගරයේ සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් එම නගරය ජනගත කරනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් කළුඟඟ වේල්ලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ජනාධපතිවරයා විසින් එම වේල්ලේ ඉදිකෙරුණු සමරු ඵලකය ද නිරාවරණය කළේය.

RSL

Related Posts