මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා සිදුකර ගැනීමට යොදාගන්නා කුප්‍රකට පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

බරපතල අක්‍රමිකතා රාශියක් සිංගප්පුරු ගිවිසුම අත්සන් කිරීමේදී සිදු වී ඇති බව විශේෂඥ කමිටුව ඉතා පැහැඳිලිව සඳහන් කර ඇති නිසා එම ගිවිසුම අවලංගු කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි.

මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබා ගැනීමටට අපොහොසත් වීම, මහබැංකුවේ නිර්දේශ නොසළකා හැරීම, තවත් අදාළ රජයේ ආයතන ගණනාවක අනුමැතිය ලබා නොගැනීම, ශක්‍යතා අධ්‍යනයක් සිදු නොකිරීම ආදි නොයෙකුත් අක්‍රමිකතා සඳහා මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බව විශේෂඥ කමිටුව ප්‍රකාශ කර ඇති නිසා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවුත් ඔහුව තනතුරෙන් පහ කිරීම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වල වගකීමක් බව එම සංගමය අවධාරනය කරයි.

නීති පතිවරයාගේ නිර්දේශ පවා නොතකා හරිමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් ගිවිසුම අත්සන් කර ඇත්තේ නීතිවිරෝධී අයුරින් බව විශේෂඥ කමිටු වාර්තාව මඟින් පැහැදිලි වන එම සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්, ලසන්ත වික්‍රමසිංහ මහතා:

මෙම ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට කිසිදු අනුමැතියක් ලබා ගෙන නැහැ එසේම එම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා කර ඇත්තේ ඒ සඳහා කිසිදු බලයක් ඔවුනට පැවරීමෙන් තොරව බව විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙනවා. මෙම සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් හට මෙම ගිවිසුම මඟින් පෞද්ගලික වාසි සැලසෙන බැදියාවන් අතර ගැටුම් තත්වයක් ඇති බව කොමිසම විසින් පෙන්වා දීම හරහා කිසිදු බලයක් නොමැතිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙනත් රටක් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් තමන්ගේ පෞද්ගලික වාසිය උදෙසා රට පාවා දෙන පිරිසක් මේ කටයුත්ත සඳහා පාවිච්චි කරලා තියෙන බව පැහැදිළියි.

මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන කිසිදු වාසියක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී නැති අතර රජයට ආනයනික බදු ආදායම අහිමි වීම, ගෙවුම් තුලනයට අහිතකර බලපෑමක් ඇති වීම ඇතුලු අවාසි රැසක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී තිබෙනවා. එසේම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ‘නව වෙළඳ ප්‍රතිපත්තිය’ නමැති ලියවිල්ල අලුයම ලූ කෙළ පිඩක් සේ විශේෂඥ කමිටුව විසින් වැඩකට නැති ලේඛනයක් ලෙස බැහැර කර ඇති බවත් ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් මඟින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය විශ්වාසය භංග වන අයුරින් කටයුතු කර ඇති බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව දැන් සියලු පක්ෂ එකතුව මලික් සමරවික්‍රම ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනවුත් ඔහුව එම තනතුරෙන් පහ කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි. එම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවොත් විශ්වාස භංග යෝජනාව ජයගත හැකි බවද එම සංගමය පෙන්වා දෙයි. එවැනි යෝජනාවක් ගෙන ඒම මගින් දූෂිත ක්‍රියාවක් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුද යන්න ජනතාවට නිරාවරණය වන නිසා එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් බවට පත්වන බව එම සංගමය පෙන්වා දෙයි

සභාපති, කපිල පෙරේරා:

මෙම ගිවිසුම ගෙන එන විට අප මේකේ අන්තර්ගතය ගැන දැන ගෙන හිටියේ නෑ. ඒ නිසා අප මුලින්ම විරුද්ධව කතා කලේ මේ ගිවිසම අත්සන් කිරීම සඳහා අනුගමනය කළ අත්තනෝමතික ක්‍රමවේදයට. පසුව මේ ගිවිසුම අත්සන් කරලා ටික කාලයකට පස්සේ තමා මේ ගිවිසුම අපට දැක ගන්න ලැබුනේ. එතකොට තමා අපට වැටහුනේ මෙහි ඇති අහිතකර බව. එවිට අප මේ ගිවිසුමේ ක්‍රියාදාමයට වගේම අන්තර්ගතයටත් එරෙහිව ජනතාව දැනුවත් කළා. මේ අපක්ෂපාතී විශේෂඥ කමිටු වාර්තාව මගින් ඉතා පැහැදිලිව අප කියපු කාරණා තව දුරටත සනාථ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට තව දුරටත්, ඒ අමාත්‍යාංශය උසුලන්න අයිතියක් නෑ. ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙනවුත් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීම සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් වරදකරු වන්නේ මලික් සමරවික්‍රම ඇමතිවරයා පමණක් නොවුනත්, ඔහු මේ සඳහා සෘජු වරදකරු බව විශේෂඥ කමිටු වාර්තාව මඟින් පැහැදිලියි.

RSL

Related Posts