ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවෙයි

Spread the love

ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිඳු ගැටලුවක් නොවන බවත්, විපක්ෂය අපට හොඳට හුරුපුරුදු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

පසුගියදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළකර ඇති අතර මෙහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත.

විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවේ. ආණ්ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් අපට හොඳට පුරුදුයි. දැන් අපි විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරැදිවලට විරුද්ධ වෙමින් ඉදිරියට යනවා.

ශ්‍රී ල.නි.ප.යේ ඉදිරි ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙනවාට මම විරුද්ධයි. එතුමා මේ හවුල් ආණ්ඩුව හදලා පක්‍ෂයට හානි කළා. එපමණක් නොවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරැදි ලෙස පාවිච්චි කරලා සුප්‍රිම්කෝට් නඩුකාරයන් හත් දෙනකු දුන් තීන්දුවක් නොසලකා කටයුතු කළා. මේ වගේ තීන්දු ගන්නා අයෙක්ට විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට අපි විරුද්ධයි.

මේ බදුල්ලේ ඉන්න මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ දීගයට කපුකම් කරපු මහත්තයා එහෙම තමයි මහින්ද මහත්තයාව කෑවේ. ඒ මිනිස්සු තමයි ඇවිත් බොරුවට එක එක දේ කියලා ලණු දීලා මහින්ද මහත්තයාට මේ අපරාධය කළේ. මම ඒ අයගේ නම් කියන්නේ නෑ. හැබැයි රටේ ජනතාව ඒ අය කවුද කියා දන්නවා. ෆෙඩරල් දෙනවාට අපි විරුද්ධයි. කවුරුන් හෝ ෆෙඩරල් දෙන්න උත්සාහයක් හෝ කරනවා නම් විපක්‍ෂයක් ලෙස එකතු වී අපි ඊට විරුද්ධව සටන් කරනවා. එහෙම නැතිව කවුරුන් වුණත් ඒකීය රටක් ලෙස එකට එක්ව යනවා නම් කමක් නෑ.

පසුගිය දිනවල සිදුවූ යම් යම් සිදුවීම්වලට පොහොට්ටුව පක්‍ෂය යම් කඩාවැටීමකට ලක් වුණා. ඒත් ජනතාව ආපසු අපිව නැඟිට්ටුවා ඉදිරියට ගෙන යන බව මට විශ්වාසයි.

දැනටමත් ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා. ආණ්ඩුව දැන් අලුත් බදු ගහන්න පටන් අරන්. දුම් බද්ද කියලා එකක් කලින් සිටම තිබුණා. දැන් කාබන් බද්ද කියලා අලුත් බද්දක් ගහනවා. මේ දෙකම එකයි. වාහනවලින් වැඩිපුර කාබන් පිට වෙනවා නම් දුම් පරීක්‍ෂණයෙන් මොකද කරන්නේ. දුම් පරීක්‍ෂණය හරියට කරනවා නම් කාබන් වැඩිපුර පිටවෙන්න විදියක් නෑ. එහෙනම් කාබන් බද්ද මොකටද? මේක හරි විහිළුවක්. එහෙම නම් දුම් පරීක්‍ෂණය අහෝසි කරන්න ඕනෑ.

මාධ්‍යයට තර්ජනය කිරීම හැම ආණ්ඩුවක්ම කළා. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. මෙතෙක් කලක් පත් වුණු හැම ආණ්ඩුවක්ම ඔවුන්ට විරුද්ධව යන මාධ්‍යයන්ට තර්ජනය කළා. ඒත් ඊයේ පෙරේදා කළුපටි බැඳගෙන ගිහින් සිදුවුණේ එහෙම එකක් නොවේ කියලයි මට වැටහුණේ. මාධ්‍යය ප්‍රවෘත්ති හරියට ප්‍රචාරය කරන්නේ නෑ කියලයි ඒ අයගේ මතය වුණේ. ඒකට දේශපාලන සම්බන්ධයක් තිබුණද කියා මම දන්නේ නෑ. කෙසේ වුණත් මාධ්‍යය හරි දේ හරියට ප්‍රචාරය කරන්න ඕනෑ.

RSL

Related Posts