කුප්‍රකට ජොනීගේ කෝටි 200 ක ගැහිල්ලක් එළියට

Spread the love

හිටපු සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමුපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිතා කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව තම සංගමය නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා පවසයි.

2012 වසර සඳහා වන විගණන වාර්තාව ඉකුත් ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන සමූපකාරයේ මහ සභාවට ඉදිරිපත් කළ බවත් විගණනයට බාධා කිරීම සහ මුල්‍ය වාර්තා නොමැති වීම හේතුවෙන් සෙසු වසරවල විගණන වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (12)පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ඒ බව පැවසීය. ඒ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

පසුගිය 2017.10.29 දින අධ්‍යාපන සමුපකාර සමිතියේ ප්‍රධාන මහ සභාවට 2012 වර්ෂයට අදාළ විගණන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමේදී එම වර්ෂය තුළ සමිතිය තුළ විශාල වංචා දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට හෙළිදරව් වී ඇති බවත් එකී විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබූ එම වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ මේ මාධ්‍ය හමුවේදී විස්තරාත්මකව හෙළිදරව් කරන ලදි.

ඒ අනුව මෙම සමිතියට නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත්කරමින් සමිතිය තුළ බලහත්කාරී පාලනයක් 2011.05.12 දින සිට 2015.11.06 දින දක්වා පවත්වාගෙන යාමට මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කටයුතු කරන ලදි.

සමිතියේ සේවක විනය, අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන්ම දුර්වල බවත් නීතිරීති හා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් විගණන වාර්තාව හෙළිදරව් කරයි. එසේම එවකට අතුරු පාලකයන්ට හිතවත්ව කටයුතු කළ සේවකයන් අතළොස්සකගේ උවමනාවට සමිතියේ කටයුතු මෙහෙයවී ඇති බව ඉන් පෙන්වා දෙයි. මෙම සේවක අතළොස්ස යනු මහින්ද රාජපක්ෂ හිතවාදීන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සමිතියේ අවශ්‍යතාව නොසළකා අතිරික්ත සේවකයන් සිටියදී ද ව්‍යාජ ලෙස පුරප්පාඩු මවාපාමීන් සමිතියට විධායක, මෙහෙයුම් හා සහය මට්ටම්වලට බාහිරින් සේවකයින් බඳවා ගෙන ඇති බවත්, එහිදී බඳවා ගැනීමේ නීතිරීති ක්‍රමවේද උල්ලංඝනය කර ඇති බවත් පිරිස් බල තක්සේරුව ඉක්මවමින් කටයුතු කර ඇති බවත් විගණන වාර්තාව පෙන්වා දේ.

මෙසේ බඳවා ගත් සේවක සංඛ්‍යාව 200 කට අධික බව පෙන්වා දෙමු. ඒ අනුව ඔවුන්ට වැටුප් ගෙවීමට සමිතිය මේ දක්වා රු.මිලියන 500 කට අධික මුදලක් වැය කර තිබේ. මෙම සේවක බඳවා ගැනීම මඟින් සමිතියේ ඵලදායිතාව ඉහළ යෑමක් කිසිදු ලෙසකින් පෙන්නුම් නොකරේ. එමගින් සමිතියේ කාර්යක්ෂමතාවය වැඩිවනවා වෙනුවට තවත් අඩුවී තිබේ.

2012 වර්ෂයට අදාළ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු නිසි අයුරින් සිදුනොවීමත් මූල්‍ය වාර්තා නිසිපරිදි නිසි වේලාවට සිදුවී නොමැතිවීමත් ඊට සාක්ෂි දරයි. 2012 විගණන වාර්තාව 2013 වර්ෂයේ මැද භාගයේදී ලබාදිය යුතු වූවත් සමිතියේ කාර්ය මණ්ඩලය විසින් මූල්‍ය වාර්තා සකස් කර ගිණුම් සකස් කර නිසි වේලාවට භාර නොදීම හේතුවෙන් එම වර්ෂයේ විගණන වාර්තාව ලබාදීමට වසර 05 ක් ම ගතවීමෙන් සමිතියේ කාර්ය මණ්ඩලය මෙහෙයවීමේ අකාර්යක්ෂමතාව පැහැදිලි වේ.

සමිතියේ මිලදී ගැනීමේ හැකියාව හා පහසුකම් ක්‍රියාවලියද ආරම්භයේ සිටම අවිධිමත් නීත්‍යානුකූල එකක් නොවන බව විගණන වාර්තාව හෙළිදරව් කරයි. එම ක්‍රියාවලිය තුළ දූෂණයන් හා අක්‍රමිකතා සිදුව ඇති බව ද පෙන්වා දේ. එම වංචා දූෂණවල වටිනාකම රු.මිලියන 600 කට වඩා වැඩිය.

සමිතිය සතු වූ අතිරික්ත මුදල් රුපියල් මිලියන 1800 ක් නිසි පරිදි ඵලදායි ලෙස ආයෝජනය කිරීම හෝ සාමාජික ආර්ථික සුභසිද්ධිය සඳහා පරිහරණය කිරීම් වෙනුවට එම මුදල් 7% කටත් වඩා අඩු පොලියකට මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුවල යොදවා සමිතියට අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුකර තිබේ. එකී අලාභය රු.මිලියන 350 කි. අඩු පොලියට මහජන බැංකුවේ මෙලෙස මුදල් යෙදවීමෙන් මහින්ද රාජපක්ෂ හා ජොන්ස්ටන්ගේ හිතවතුන් විශාල වශයෙන් කොමිස් ලබාගත් බවට තොරතුරු තිබේ. මේ පිළිබඳව මේ වනවිටත් විමර්ශන සිදුවෙමින් පවතී.

RSL

Related Posts