“ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” නා ගනී..!

Spread the love

“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විශේෂ ලියකියවිලිවලින් සහ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනයේ මුල්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසත් ගණකාධිකාරී චතුරංග පල්ලෙවෙල මහතා එම ආයතනයේ මුල්‍ය උපදේශකවරයා ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට අර්ජුන් ඇලෝසිය මහතා ක්‍රියා කර ඇතැයි කියන සිද්ධියෙනි.

“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය වෙත මෙසේ මුදල් ආයෝජනය කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ආන්දෝලනාත්මක මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවෙන් උපාය ගත් අයථා මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා බෙදා දුන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ ඇතුළු ඔහුගේ සියලු රහස් ගනු දෙනු පිළිබඳ තොරතුරු දන්නේ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා බව ද එම ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

“ජනයුගය” පුවත් පත වැසී ගොස් තිබෙන්නේ එම පුවත් පතට ආයෝජනය කිරීමට තිබූ මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා මෙසේ “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය සඳහා ආයෝජනය කිරීම හේතුවෙන් බව එම පුවත් පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවෝ පෙන්වා දෙති.

සියලු සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් ද පුවත් පත නොකඩවා පවත්වා ගෙන යාම සඳහා ද රුපියල් කෝටි දෙකක් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් මහතා මුලින් පොරොන්දු වුණත් එම පොරොන්දුව ඉටු නොවූ බව ද එම සේවක සේවිකාවෝ පවසති.

අනතුරුව “ජනයුගය” පුවත් පතේ මුද්‍රණය අත්හිටවූ අවස්ථාවේදී කර්තෘ මණ්ඩලයේ ඇතුළු සියලු සේවක සේවිකාවන්ගේ ජනවාරි වැටුප සහ අතිකාල ඇතුළු සියලු දීමනා සමග සාධාරණ වන්දි මුදලක් ද ගෙවීමට අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතා පොරොන්දු වුණත් එම පොරොන්දුව ද මේ වන තුරුත් ඉටු කර නොමැති බවට එම පිරිස චෝදනා කරති.

උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී සිකුරාදා (02) රැස්වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති “ජනයුගය”කර්තෘ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සමස්ථ සේවක සේවිකාවන් මේ අසාධාරණයට එරෙහිව සිය අයිතීන් වෙනුවෙන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ අඛණ්ඩ උපවාසය කොළඹ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි අර්ජුන් ඇලෝසියස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට හෝ ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ නිවස ඉදිරිපිට පැවැත්වීමට “ජනයුගය”කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

-සුමුදු පෙරේරා-
-ලංකා ලීක්ස්-

RSL

Related Posts