ETCA ගිවිසුමෙන් ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට!

Spread the love

ranil-modiවත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (13) විද්වත් වෘත්තිකයන්ගේ මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙසේද පැවැසීය.

1998 අත්සන් කළ වෙළෙඳ ගිවිසුමෙන් අප රටට සියයට 90 ක පාඩුවක්‌ සිදුව තිබෙනවා. වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ සංඛ්‍යාව මත රට දියුණු වන්නේ නැහැ. වැඩිම වෙළෙඳ ගිවිසුම් ගණනක්‌ අත්සන් කළ නේපාලයට අද සිදුව ඇති තත්ත්වයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා.

ද්විපාර්ශ්වික ගිවිසුමක්‌ යටතේ ඉන්දියානුවන් අප රටට පැමිණියොත් අපගේ අධිකරණ ක්‍රියාවලියට ඔවුන්ව නතු වෙන්නේ නැහැ. ඔවුන් නිසා අප රටේ යම් පුරවැසියකුට අවැඩක්‌ සිදුවුවහොත් අධිකරණයේ පිහිට පතන්න වෙන්නේ ජාත්‍යන්තර බේරුම්කාරක මණ්‌ඩලය වෙත යැමෙන් පමණයි.

ආණ්‌ඩු වෙනස්‌ වුණත් රට පාවාදෙන ප්‍රතිපත්ති සම්පාදකයන් වෙනස්‌වෙලා නැහැ. ඔවුන් නිරන්තරයෙන් දේශපාලකයින්ව ඒ සඳහා යොමු කර ගන්නවා. ඉතිහාසය පුරාම අපි ඒ දේ හොඳින් දැක්‌කා.

ලෝකයේ දියුණු රටවල ජාතික ක්‍රියාදාමයන්හි ප්‍රතිපත්ති සැකසීමේදී උගතුන්, විද්වතුන්ගේ දායකත්වය ලබා ගන්නවා. ඒ නිසා එම රටවල සංවර්ධන ක්‍රියාවලීන් අඛණ්‌ඩව සුරක්‍ෂිතව සිදු කෙරෙනවා. එහෙයින් අන්තර්ජාතික ගිවිසුම් සැකසීමේදී දේශප්‍රේමී උගතුන් සහ විද්වතුන්ගේ දායකත්වය ලබාගත යුතු බවත් ඒ සඳහා නියමිත අධිකාරියක්‌ මගින් ගිවිසුම් සම්පාදනය කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

මෙවැනි ප්‍රතිපත්තියක්‌ සම්පාදනය නොකර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් නොකරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී. හේවාගම්ගේ මහතා මෙසේ පැවසීය.

මෙම ගිවිසුම මගින් දේශීය වෛද්‍ය සේවාවන්ට බලපෑමක්‌ සිදුවෙනවා. අපි තවත් රටක තෝතැන්නක්‌ වීමට ඉඩ දිය නොහැකියි. ගිවිසුම්වලට එළඹෙනවා නම් අනාගත පරම්පරාවන්ට අගතියක්‌ නොවන ලෙස ඒ කටයුතු කළ යුතුයි.

RSL

Related Posts