හිස්‌බුල්ලා ගෙදර යවන්න නැගෙනහිර හර්තාල්

Spread the love

ආණ්‌ඩුකාර ධුරයෙන් එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා ඊයේ (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කළ හර්තාලයක්‌ හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා පැමිණුනි. හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්විණි.

ත්‍රිකුණාමලය නගරයේ මෙන්ම කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුනේ ද කඩ සාප්පු වසා දමා තිබුණි. පෞද්ගලික බස්‌ රථ ධාවනයෙන් ඉවත්ව තිබුණි.

ලංගම බස්‌ රථ පමණක්‌ ධාවනයේ යෙදුණු අතර ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම ඩිපෝවට අයත් බස්‌ රථයකට එල්ලවූ ගල් ප්‍රහාරයකින් එහි ඉදිරි පස වීදුරුවට හානි වී තිබුණි.

ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ලවූ අතර රියෑදුරු බස්‌ රථය මගීන් සමග නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි පොලිස්‌ මාර්ගය වෙත ගෙන ගොස්‌ තිබුණි.

ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සංගම හංදියේ සහ නිලාවෙලි මාර්ගයේ තුනේ කණුව මංසන්ධියේදී මාර්ගය අවහිර කර ටයර් පුළුස්‌සා තිබූ අතර පොලිසිය මැදිහත්ව එම ගිනි ගන්නා ටයර් ඉවත් කරනු ලැබීය.

ප්‍රදේශයේ පාසල් කිහිපයකටම කිසිඳු දරුවකු පැමිණ නොසිටි අතර හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බළකා නිලධාරීන් පාසල්වල ආරක්‌ෂාවට යොදවා තිබුණි. රාජ්‍ය ආයතන හා බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුවද එහි කාර්ය මණ්‌ඩලවල පැමිණීමේ අඩුවක්‌ දක්‌නට ලැබුණි. හර්තාලය හේතුවෙන් දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ ආරක්‌ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‌ෂක බළකාය යොදවා තිබුණි.

RSL

Related Posts