රටේ වත්මන් තත්ත්වයට දේශපාලනය හෝ ජාතිවාදය සම්බන්ධ කර ගන්න එපා

Spread the love

ත‍්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැඟීමේ කි‍්‍රයාදාමයේදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප‍්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ් සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා (08 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අද දවසේ රටට ආදරය කරන සියලූ පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඬ නැඟීම නොව, ප‍්‍රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත්වන සියලූ ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැඟීම සඳහා වගකීම් ඉටු කිරීම බවයි.

විවේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේශ සහගත විවේචන සේම තොරතුරු නොදැන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස් දේ බවට පත්වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

බහු ආගමික රටක් ලෙස කිිසිදු ආගමිකයකු අපහසුතාවට පත් නොකළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් පාර්ලිමේන්තුවේදී ජන සමාජයේදී හෝ කොතැනක හෝ තම හඬ අවදි කිරීමේදී රටේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් ප‍්‍රකාශ කළේ අහිංසක ජනතාව ඝාතනය කළ කුරිරු ත‍්‍රස්තවාදීන් තම ප‍්‍රජාවට සම්බන්ධ අය ලෙස නොසලකන බවත්, මුස්ලිම් සමාජය අන්තවාදය සහ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවයි.

එමෙන්ම ඔවුන් ඉල්ලා සිටියේ සෑම මුස්ලිම් ජාතිකයකු දෙසම ත‍්‍රස්තවාදියකු ලෙස නොබලන ලෙසයි. ඇතැම් අවස්ථාවල මුස්ලිම් ත‍්‍රස්තවාදීන් ලෙස මෙම ම්ලේච්ඡු ත‍්‍රස්ත කණ්ඩායම හඳුන්වාදීම හේතුවෙන් ප‍්‍රජාවක් ලෙස තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳ ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කළ මෙම නියෝජිතයෝ ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය පිළිබඳව ඇතැමුන් අනවබෝධයෙන් කරන ප‍්‍රකාශ හේතුවෙන් තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳව ද කරුණු කියා සිටියහ.

අමානුෂික ලෙස ජීවිත විනාශ කළ මෙම ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට සම්බන්ධ සියලූ දෙනාට දැඩි දඬුවම් ලබා දෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි නියෝජිත පිරිස මෙහෙයුම් අතරතුර ත‍්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නොමැති ඉස්ලාමිය ආගමික ග‍්‍රන්ථ අත්අඩංගුවට ගැනීම් වැනි සිදුවන සුළු සිදුවීම් හේතුවෙන් පොදු මුස්ලිම් ප‍්‍රජාවට සමාජයේදී මුහුණ දීමට සිදුව ඇති අසීරුතාවන් පිළිබඳව ද කරුණු කියා සිටියහ.

එමෙන්ම ඉස්ලාම් ධර්මය පිළිබඳ ඉගැන්වීම් සිදුකරන ආයතන අදාළ නිර්දේශ යටතේ කි‍්‍රයාත්මක කිරීම, අන්තවාදයෙන් තොර සහජීවනයෙන් පිරී සමාජයක් පිළිබඳ සියලූ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම, ශුද්ධ වූ කුරාණය සහ ඉස්ලාම් ඉගැන්වීම් පිළිබඳ සෙසු සමාජයට ද අවබෝධයක් ලබාදීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

මෙම නියෝජිතයෝ වැඩිදුරටත් පෙන්වා දුන්නේ සමාජ වෙබ් අඩවි සහ මුහුණු පොත ඔස්සේ පළවන ජාතිවාදය වපුරන ඇතැම් ප‍්‍රකාශ හේතුවෙන් සමාජයක් ලෙස සියලූ ජන කොටස් අපහසුතාවයට පත්ව ඇති බවයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම කි‍්‍රයාවන් පිටුපස සිටිමින් ඒවා මෙහෙයවන පිරිස් වහාම හඳුනා ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙස ද ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

රටේ සෑම පුරවැසියකුටම අභියෝගයක් වූ ත‍්‍රස්තවාදය මැඬලීමට ඉතා කෙටි කලකින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගත් පියවර මෙහිදී සියලූ දෙනාගේ පැසසුමට ලක් වූහ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම හමුවට එක්ව සිටි අතර සමස්ත ලංකා ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ සංගමය ඇතුළු මුස්ලිම් සංවිධාන 40 ක පමණ නියෝජිතයෝ එක්ව සිටියහ.

RSL

Related Posts