ආනයනික කිරිපිටි වල අඩංගු විෂ රසායන පිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන්න! රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපතිගෙන් යළි ඉල්ලයි

Spread the love

ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිිපතිතුමනිි,

ආනයනික කිරිපිටි වල ප‍්‍රමිතිය සම්බන්ධව මතුව ඇති බරපතල චෝදනා පිලිබඳව විධිමත් විමර්ෂණයක් කිරීමේ වැදගත්කම

කිරිපිටි වල අහිතකර සෞඛ්‍යමය බලපෑම පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් විසින් ඉදිරිපත්කල විද්වත් මතයට ගරුකල හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් වන ඔබතුමාගේ කාලය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය බහුජාතික කිරි පිටි සමාගම් වල ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට කල සටන අදටත් අප කෘතවේදීව සිහිපත් කරමු.

ඔබතුමාගේ සෞඛ්‍ය ඇමතිධූර කාලයෙන් පසු සිදුවූු තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් නම්, අද වන විට රටේ ජනතාවගේ සෞඛ්‍ය රැුක දිය යුතු සෞඛ්‍ය ඇමතිවරයා බහුජාතික කිරි පිටි සමාගම් වෙනුවෙන් නිර්ලඡ්ජිතව පෙනී සිටීමයි.

එම බහුජාතික කිරි පිටි සමාගම් ඉංගී‍්‍රසි භාෂාවෙන් සකස් කර දෙන පුවත්පත් නිවේදන තම නිල මුද්‍රාවන් සහිතව නිකුත් කිරීමට මොවුන් කටයුතු කරමින් සිටියි. ඔබතුමා හොදින් දන්නා පරිදි ආනයනික විදේශ කිරි පිටි සම්බන්ධව ගැටලු මතු වූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම මීට ටික කලකට පෙර විදේශ කිරි පිටි තුල මෙලමයින් හා DCD වැනි මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට චෝදනා එල්ල විය. මේ බව රසායනාගාර පරික්ෂණ වලින් තහවුරු විය.

ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් ආහාර සුරක්ෂිතතාවට අදාලව දස වැදෑරුම් යෝජනා මාලාවක් එළි දක්වන ලදී (ඇමුණුම 1 අදාල යෝජනා මාලාව).
මේ වන විට කාර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුව තුලදී සිදුකල හෙලිදරව්වත් සමග නැවතත් විදේශ කිරිපිටි සම්බන්ධව කතිකාවතක් නිර්මාණය වි තිබේ.

ඒ අනුව ආනයනික කිරි පිටි වල අඩංගු විය යුතු කිරි මේදය වෙනුවට ෆාම් තෙල් හා ඌරු තෙල් වැනි වෙනත් සත්ව මේදය කිරි පිටි සමග මිශ‍්‍ර කරන බවට පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි ලැබී ඇති බවට අනාවරණය වේ.

ඇමරිකාව, මැලේසියාව වැනි රටවල සිට වැඩිම ප‍්‍රමාණයක් ෆාම් තෙල් ආනයනය කරන රට නවසීලන්තය බවට පත්ව තිබීම අහඹු සිදුවීමක්ද යන්න වහා සොයා බැලිය යුතුයි. අද වන විට ලෝක වෙළඳපොලේ කිරි මේදය කිලෝ ග්‍රෑම් 1 ක මිල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 900 කට ආසන්න අගයක් ගන්නා විට ෆාම් තෙල් කිලෝ ග්‍රෑම් 1 ක මිල රු 150 ක් පමණක් වන බව විශේෂඥයින් පෙන්වා දෙයි.

කිරි පිටි නිෂ්පාදනය කරන විදේශ රටවල් සමහරක බලධාරින් ප‍්‍රකාශ කරන පරිදි ශ‍්‍රී ලංකාව වැනි තුන් වන ලෝකයට අයත් වියදම් කිරීමේ හැකියාව අඩු ජනගහණයක් සිටින රටවල වෙළඳ පොලට දැරිය හැකි මිලකට කිරි පිටි ලබා දීමට නොයෙකුත් විකල්ප ක‍්‍රමවේදයන් ඒ අය අනුගමනය කරන බවට කරුණු හෙලිදරව් වෙමින් පවතී.

මේ සියලු තත්ත්වයන් මෙසේ තිබීයදී, ආහාර සෞඛ්‍ය පිළිබඳ බලධාරිත්වය දරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධානීන් විශ‍්‍රාම ගැනීමේන් පසු විදේශීය කිරි පිටි සමාගම් වල දේශීය ප‍්‍රධානීින් බවට පත්වේ.

ඒ අනුව මේ මොහොතේ විමර්ෂණයට ලක් විය යුතු ප‍්‍රධාන කරුණු කිහිපයක් මතුවේ.
1. ආනයනික විදේශ කිරි පිටි වල කිරි මේදය වෙනුවට වෙනත් ආදේශක අඩංගු වී ඇතිද?
2. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු හා වර්තමාන බලධාරින් හා කිරි පිටි සමාගම් අතර පවතින සම්බන්ධතා කවරේද?

පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල වෙත උපරිම සහයෝගය හා පහසුකම් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමා ලෙස ඔබතුමාගේ මැදිහත්වීම ලබාදෙනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමු.

ජනතාවගේ සෞඛ්‍යයට පමණක් නොව රටේ සමස්ත ආර්ථිකයටද දැඩි සෘනාත්මක බලපෑමක් එල්ල කර ඇති විදේශ කිරි පිටි මාෆියාවට එරෙහිව සෑබෑ සටනක් දියත් කල හැකි වනුයේ එවිටය.
ගරු කතානායක තුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කල පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 225 දෙනාට ලැබෙන සුරක්ෂිතභාවය තහවුරු කල පිරිසිදු කිරි රටේ අනිකුත් සාමාන්‍ය ජනතාවටද සැකයකින් තොරව ලබා ගත හැකි වාතාවරණයක් ඒ හරහා උදා කල හැකි වනු ඇත.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වෛද්‍ය හරිත අලුත්ගේ
සභාපති ලේකම්

RSL

Related Posts