
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ.
ගාල්ල බන්ධනාගාරයේදී ජංගම දුරකථන දෙකක්ද බෝගම්බර බන්ධනාගාරයේදී ජංගම දුරකථන හතරක්ද එසේ සොයාගෙන තිබේ. පෙරේදා (20දා) පස්වරුවේ ඇතිවූ එකී කලහකාරී සිද්ධියෙන් පසු රැඳවියන් පනස් දෙනකු කළුතර, ගාල්ල, කුරුවිට හා බෝගම්බර යන බන්ධනාගාර හතර වෙත ස්ථාන මාරුකර යවා ඇති බවත්, එකී බන්ධනාගාර වෙත එම රැඳවියන් ඇතුළත් කර ගැනීමට පෙර සිදුකළ පරීක්ෂාවකදී එම දුරකථන හය සොයාගෙන ඇති බවත් දැන ගැනීමට තිබේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ එකී ජංගම දුරකථන රැගෙන ගිය රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර නීතිරීතිවලට අනුව අවශ්‍ය පියවර ගන්නා බවය.