නවක වදයට වැට බඳින්න විජේදාසගෙන් ඇප් එකක්

Spread the love

විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පාලනය කිරීමේ අරමුණින් ජංගම දුරකතන යෙදුමක් මෙරට සිසුන්ට හඳුන්වාදීමට විෂය භාර අමාත්‍යංශය තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යම් හදිසි අවස්ථාවක සිසුන් මෙම යෙදුම ක්‍රියාත්මක කළහොත් වගකිවයුතු නිලධාරීන් මෙන්ම ආයතන ද එකවර දැනුවත් කිරීමේ හැකියාව පවතින බවයි.

නවක වදය පාලනය කිරීමේ මුවාවෙන් ශිෂ්‍යයින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දැරීම සහ තවත් ගැටළු කිහිපයක් ඉදිරිපත් කරමින් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (21) දිනයේත් වීදි බැස තිබිණි.

මෙවැනි ශිෂ්‍ය අරගල බොහෝවිට නිමාවන්නේ කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර හමුවේයි.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍යංශය පවසන ආකාරයට 2015 සහ 2017 අධ්‍යයන වසර සැලකීමේදී නවක වධය නිසා විශ්වවිද්‍යාල හැරගිය සිසුන් සංඛ්‍යාව 1989 කි.

උසස් අධ්‍යපාන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ සිසුන්ට සිදුවන මානසික, ශාරීරික පීඩන මෙන්ම ඇතැම් අවස්ථා වල සිදුවන ලිංගික අඩන්තේට්ටම් නිසා 91,600 ක් උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල තුළ දී පීඩාවට පත්වී ඇති බවයි.

නවක වධය නිසා මියගොස් තිබෙන සිසුන් සංඛ්‍යාව 14 කි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විෂය භාර අමාත්‍යංශය නවක වදයට ලක්වන සිසුන් ඉන් මුදාගැනීමේ පහසුව උදෙසා නව තාක්ෂණය භාවිත කරමින් ජංගම දුරකතන යෙදුමක් නිර්මාණය කිරීමට අවධානය යොමුකර තිබේ.

එවැනි සිදුවීමකදී UGC EMERGENCY SAFETY APP නම්වූ මෙම ජංගම දුරකතන මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමෙන් තමන් පත්ව ඇති අපහසුතාව සිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට, විනය භාර ආචාර්යවරයාට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එකවර දැනුම් දීමේ හැකියාව පවතියි.

එය ලබන විසි නව වැනිදා සිට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති බව විෂය භාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන හා එක්වෙමින් සදහන් කළේ මෙය ශිෂ්‍යයින් මර්දනය උදෙසා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත තවත් උපක්‍රමයක් බවයි.

-දෙරණ-

RSL

Related Posts