තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!

Spread the love

Anura Senenayakeප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික ‍වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය.

සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුවේ, මෙම සැකකරු (හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක) තාජුඩීන් ඝාතනය වූ 2012/05/12 වන දින මැදියම් රාත්‍රී 12.45 සිට පැය තුනක කාලයක් සිවිල් ඇඳුමින් සැරසී වෙනත් කාර් රථයක සිට මෙම සිද්ධිය නිරීක්ෂණය කළ බව ය.

ඊට අමතරව 2012/05/17 වන දින අලුයම පොලිස් මූලස්ථානයේ තිබූ සාකච්ඡාවකදී නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති සරච්චන්ද්‍ර මහතාට මෙම ඝාතනය රිය අනතුරක් ලෙසට සටහන් යොදන ලෙස උපදෙස් ලබා දී තිබුණු බවට කරුණු අනාවරණය වන්නේ යැයි වැඩිදුරටත් පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අනාවරණය කර සිටියේය.

සැකකරු මෙලෙස දැනට රක්ෂිතබන්ධනාගාරයේ සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ද රිය අනතුරක් ලෙස විමර්ශනය කිරීමට උපදෙස් දී ඇති බවත් සාමාන්‍යයෙන් අපරාධයක් වී දින 10ක් තුළ දී අපරාධ වාර්තාවක් (FCR) පවත්වාගෙන යා යුතු බවත් එවැනි ගොනුවක් පවත්වාගෙන ගොස් නැති බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට අදාළව වෛද්‍ය වාර්තා රස පරීක්ෂක වාර්තා ලැබීමට ප්‍රථම ගොනුව පවා වසා දැමීමට සැකකරු උපදෙස් ලබා දී ඇති බව පැවසූ පොලිස් අධිකාරිවරයා 2012/05/12 දින කිරුළපන පොලිස් වසමේ තිබී තාජුඩීන්ගේ මුදල් පසුම්බිය සොයා ගැනීම පිළිබඳව ද කිසිදු විමර්ශනයක් පවත්වා නැති බවත් අනතුර සිදු වූ ස්ථානයේ සිට 3km දුරින් තිබී මෙම පසුම්බිය හමු වී ඇතත් ඒ පිළිබඳව සොයා නොබැලීම බරපතළ ලෙස සැකයක් මතු වන කාරණාවක් බව පැවසීය.

2012/05/18 වන දින තාජුඩීන්ගේ පියා පොලිසිය වෙත කැඳවා මෙය රිය අනතුරක් බවත් සමාවෙන්න (Sorry) යැයි පැවසීම සමස්තයක් වශයෙන් ගත් කල මෙම ඝාතන කුමන්ත්‍රණය හමුවේ මොහු සිටි බවට බරපතළ සැකයක් මතු වන බවද හෙතෙම අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය.

තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙලෙස ආධාර අනුබල දී ඇති අතර මෙම ඝාතනය සඳහා රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ උපදෙස් සහ සෘජු සම්බන්ධයක් පවතින බවට අභ්‍යන්තර තොරතුරු වාර්තාකරයි.

RSL

Related Posts