සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශප්‍රේමීන් වෙලා

Spread the love

දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.

හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් මෙසේද පැවැසීය.

විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නැහැ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැට බැ¼දලා තිබෙනවා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන්පාඨ ඉදිරිපත් කරනවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑගහනවා.

සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑගහනවා. ඒවා බොරු සටන්පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නැහැ. මෙම නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.

හෙද හෙදියන් සඳහා උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබාදීමට අපි තීරණය කරලා වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොඳ සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධය පළකරනවා. ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කරලා අවසන් ගමනේදීත් විරෝධය දක්වනවා. එහෙම කෑගහන්නේ සියයට 10යි. ඒ කෑගහන අය නිසා රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ළිං මැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බි්‍රතාන්‍යයෙන් ලබාගන්නවා. ලෝකය සමඟ ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමඟ ගමන් නොකිරීම නිසා තනිවී සිටිනවා.

වත්මන් හෙද පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 18,500ක්. හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ද විධිමත්ව උගන්වනවා. බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් මට පොරොන්දු වෙලා තිබෙනවා එම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට. ඔෟෂධවේදී, සම සෞඛ්‍ය, වෛද්‍ය සිසුන් සඳහා උපාධි ලබාදීමට පීඨ ස්ථාපිත කර තිබෙනවා. එවිට තවත් වසර 04ක් යනවිට සෞඛ්‍ය වෘත්තිකයන් උපාධිධාරීන් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවය ඉහළ තලයට යොමු කරනවා.

හෙද හෙදියන් 7000ක හිඟයක් පවතිනවා. එම හිඟය අවසන් කිරීම සඳහා හෙද පාසල් 05ක් සංවර්ධනය කරනවා. හෙද ඩිප්ලෝමාධාරීන් බිහි කරමින් ඉහළ සහ දියුණු හෙද සේවාවක් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ හෙද සේවාව ජාත්‍යන්තර පිළිගන්නා තත්ත්වයට පත් කරනවා.

අතීතයේ වෛද්‍යවරුන්ටත් වඩා හෙද හෙදියන්ට විදේශීය රටවල රැකියා තිබුණා. නමුත් වර්තමානයේ උපාධිය අවශ්‍යයි. ලෝකය දිහා බලන්න. වසා ඇති කඩතුරාවෙන් මිදෙන්න. ලෝකය ගෝලීයකරණය වී විශ්ව ගම්මානයක් බවට පත්වී තිබෙනවා. ඇතැම් අය ජාතිය, ආගම, කුලය වෙනුවෙන් කෑ ගහනවා. ඔවුන් දේශප්‍රේමීන්, දේශප්‍රේමීන්ගේ පවුල්වල අය ඉන්නේ විදේශීය රටවල. එවැනි පුද්ගලයන් තමයි ජනාධිපතිවරුන් බවට පත් කරන්න ලංකාව උත්සාහ කරන්නේ. ඔවුන්ගේ පුරවැසිභාවය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ. දේශප්‍රේමීන්ගේ හැටි එහෙමයි

RSL

Related Posts