නාලක-අමල් සහ මධුෂ් අතර සමීප සබඳතාවක්!

Spread the love

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි.

මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අදාළව මෙරට පොලීසියට අවශ්‍යව සිටින මාකඳුරේ මධුෂ් සහ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් පසුගිය 04 වනදා ඩුබායිහි ජුමෙයිරා මරීනා ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ව මේ වනවිට බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටියි.

කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ මෙම පිරිස සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට අවසන් කර තිබුණද ඔවුන්ව මේ වනතෙක් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නැත.

කෙසේවෙතත් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අතර සමීප සබඳතාවයක් පැවතී ඇති බවට තොරතුරු අනාවරණ විය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අමල් පෙරේරා සහ නාලක සිල්වා අතර පැවති එම සබඳතා කුමන ස්වභාවයේ සබඳතාද යන්න විමර්ශනය කිරිමට ජාත්‍යන්තර පොලීසිය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා සමඟ පසුගිය කාලයේදී නාලක ද සිල්වා සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවේ 2016 වසරේ ජුලි මස 21 වනදා ගායක අමල් පෙරේරා හිටපු නියෝජ පොලිස්පති නාලක සිල්වා මුණගැසීම සඳහා ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති අතර එහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා කුමන කාරණයකට නාලක සිල්වා මහතා හමු වීමට යන්නේද යන්න අමල් පෙරේරාගෙන් විමසා ඇති බවයි.

ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම පොලිස් නිලධාරියාට එම අවස්ථාවේම විනය පරීක්ෂණයක් සිදුකර ඔහු පුහුණුවකට අනුයුක්ත කිරිම ,දඩුවම් රාජකාරි පැනවීම සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරිම යන දඩුවම් තුන ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වී.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ නාලක ද සිල්වා මහතා සහ ගායක අමල් පෙරේරා අතර දැඩි සබඳතාවක් තිබී ඇති බවට කරුණු අණාවරණ වන බවයි.

එමෙන්ම ඔවුන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාකඳුරේ මධුෂ් අතර තිබූ සබඳතාවය පිළිබඳවද මේ වනවිට විමර්ශණ සිදු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

එමෙන්ම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතික මර්සිලින් තෝමස් නැමැත්තා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් කුමාර පළමුවරට සිදුකළ අනාවරණයේදීද ඔහු කියා සිටියේ එම ඝාතන කුමන්ත්‍රණය සඳහා අවශ්‍යනම් මාකඳුරේ මදූෂ්ගේ සහය ලබාගැනීමට වුවද තමාට හැකියාව ඇති බව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමාට පැවසූ බවයි.

මේ අතර අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ඩුබායි පොලීසියේ අත්අඩංගුවේ පසුවන 31 දෙනා සම්බන්ධයෙන් නීතීමය විමර්ශන සිදුවෙමින් සිටින බව එරට රජය දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ඩුබායි අත්අඩංගුවට පත්වී සිටින පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර මාකඳුරේ මඳුෂ් සමග අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ගේ පවුලේ නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පෙරේදා (12) රාත්‍රියේ ඩුබායි බලා පිටත් වී තිබෙ.

ඒ අනුව ශාබ්දික වෙල්ලප්පිලි මහතා අද දෙරණට සඳහන් කළේ තමන් අද බර් ඩුබායි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකළ බවයි.

මේ අතර මධූෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ට අයත් මාළිගාවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි මොහොමඩ් අස්වර් නමැති ඔහුගේ ගෝලයෙකු අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි මධූෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබි වෑන් රථයක් හා ජීප් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙන අතරඅ නියම් බිරිඳගේ මවගේ සහ බාප්පාගේ නමින් අදාළ වාහන දෙක ලියාපදිංචි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

RSL

Related Posts