ජනාධිපති විශේෂ කොමිසම අද මහ බැංකු රහස්‌ අංශයට

Spread the love

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව අද (01 දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි කාමරයේ (Dealer room) කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමට තීරණය කර ඇත.

භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වෙන මෙම ස්‌ථානය මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුළ පිහිටි අතිශය රහස්‍ය අංශයක්‌ ලෙස සැලකේ.

අද පෙ.ව. 8.30 ට එහි භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්‌ ආරම්භ වන නිසා කොමිෂන් සභාවේ සාමාජිකයන් උදේ 8.00 ට මහ බැංකුව වෙත යැමට නියමිතය.

මේ සඳහා කොමිෂන් සභාවේ සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ යන මහත්වරු සහ කොමිසමට සහය වන රජයේ නීතිඥ මණ්‌ඩලයේ සාමාජිකයෝ සහභාගී වෙති.

එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමාලි තුඩාවේට සහ මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතාට මේ වෙන්දේසි කාමරය බැලීමට යැම සඳහා ඊයේ (28 දා) කොමිෂන් සභාවේ අවසරය ලැබිණි.

මෙහිදී කිසිවකුගෙන් සාක්‍ෂි සටහන් කර ගැනීමක්‌ සිදු නොවන බවත් නිරීක්‍ෂණයට භාජන කෙරෙන වැදගත් දේ පමණක්‌ සටහන් කරගන්නා බවත් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා සඳහන් කළේය.

-දිවයින-

RSL

Related Posts