මහ බැංකුවේ රහස්‍ය ලේඛනයක් කොමිසම හමුවේ දිගහැරෙයි

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක්‌ කොමිසමට ඊයේ (15 දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය. එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් පිටවීම ගැන කොමිසමේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටියේය.

ලිවේරා මහතාගේ කරුණු දැක්‌වීමට ප්‍රතිචාර දක්‌වමින් කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළේ අදාළ ලේඛනය මහ බැංකුවෙන් පිටවීම ගැන සුදුසු පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝගයක්‌ කිරීමට කොමිසම පියවර ගන්නා බවයි.

මේ උණුසුම්කාරී වාතාවරණය උද්ගත වූයේ අදාළ රහස්‍ය ලේඛනය ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්‌ථාවේදීය.

ආචාර්ය වීරසිංහ මහතාට ඒ ගැන කොමිසම හමුවේ සාක්‌ෂි දීමට නම් ඊට පෙර ඒ ගැන මහ බැංකුවෙන් අවසර ගැනීමට සිදුවන බව ද මෙහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය.

ඒ අනුව මඳ වේලාවකට කොමිසමේ සාක්‌ෂි විභාගය අත්හිටුවන බවත් අදාළ ලේඛනය ගැන සාක්‌ෂි ලබාදීමට මහ බැංකු අධිපතිවරයාගෙන් දුරකථනයෙන් විමසා අවසර ගන්නා ලෙසත් කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට දැනුම් දුන්නේය.

මඳ වේලාවකට පසු යළිත් කොමිසමේ සාක්‌ෂි විභාගය ආරම්භ කළ අතර එහිදී තමා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාට දුරකථනයෙන් කතා කළ බවත් ඒ අනුව අදාළ රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් අනවසරයෙන් පිටවීම ගැන මහ බැංකු අධිපතිවරයාගේ අවධානය යොමු වූ බවත් වීරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව අදාළ ලේඛනය කොමිසම හමුවේ සලකා බලන ලේඛනයක්‌ ලෙස සලකුණු කරන බවත් එහෙත් එය රහසිගත ලේඛනයක්‌ ලෙස කොමිසම සලකන බවත් සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා කීවේය.

ඒ අනුව අදාළ ලේඛනය ගැන ආචාර්ය වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතාට අවසර දුන් අතර එම සාක්‌ෂි විමසීම රහසිගතව සිදුකිරීමට ද කොමිසම තීරණය කරන ලදී. ඒ අනුව මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට කොමිෂන් ශාලාවෙන් තාවකාලිකව පිටවෙන ලෙස දන්වන ලදී.

RSL

Related Posts