ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා; දැන් EPF සල්ලි වලින් සූදු කෙළින්න හදනවා

Spread the love

මේ ආණ්ඩුව ආපු ගමන් කළේ මහ බැංකුවට සුද්දේ දීපු එක. දැන් ඊ.පී.එෆ් එකේ සල්ලි වලින් සූදු කෙළින්න හදනවා. අපි ඒකට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. කම්කරු අමාත්‍යවරයා එසේ කරන්න හැදුවහොත් කම්කරු දෙපාර්තමේන්තුව ලක්ෂ 26ක් වන වැඩ කරන ජනතාව විසින් වටලන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (07) කොළඹ පැවැති අන්තර් සමාගම් සේවක සංගමයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

අද ආණ්ඩුව කරන්නේ රුපියල අවප්‍රමාණය වීමේ බරත් ජනතාවගේ කර පිටම තැබීමයි. ආණ්ඩුව ඒකට සූත්‍ර හදනවා. ඒ වගේම එහිදී මිල වැඩි වෙනවා. නමුත් ජනතාවට ජීවත් වීමේ සූත්‍රය ආණ්ඩුව හදල නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව ජීවත් වීමට අවශ්‍ය සූත්‍රය හදලා. ඒ නිසා අන්තර් සමාගම් සේවක සංගමය ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමට පියවර ගනිමින් ඉන්නවා. පෞද්ගලික අංශය තමයි මෙහිදී වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ. කිසිවිටක ඔවුන්ට පඩි වැඩි කළේ නැහැ. ආණ්ඩුව පෞද්ගලික අංශය ආර්ථිකයට දක්වන දායකත්වය නොසලකා කටයුතු කරනවා. සේවක අර්ථසාධක අරමුදල හැමදාම පවතින ආණ්ඩුවේ බලය යටතේ කොටස් වෙළෙඳපොළේ දාලා කොල්ලකනවා.

මේ ආණ්ඩුව ආපු ගමන් කළෙත් මහ බැංකුවට දුන්න සුද්දේ. ඒ වාගේම වැටුප් වැඩි කරන කාරණය මඟඇරියා. අර්ථ සාධක අරමුදල කොල්ලකෑවා. දැන් ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයාගේ සක්‍රිය දායකත්වය නොසලකා හැර බදු සහ ගාස්තු වැඩි කිරීම් කරනවා. නව දේශීය ආදායම් පනත මඟින් රටේ වැඩ කරන ජනතාවට බදු ගැහැව්වා.

සේවක අර්ථ සාධකයටත් බදු ගහන්න හදනවා. මහ බැංකුවේ ඉඳල සියලුම අදාළ ආයතන දැනුම් දීලා තියෙනවා මේ කොල්ලකෑම කරන්න එපා කියල. ඊ.පී.එෆ්. එකට ධවල පත්‍රිකාව හදල කොටස් වෙළෙඳපොළ සල්ලි දාන්න හදනවා. ශ්‍රී ලංකා මහ බැංකුවත් තීරණය කරල පසුගිය කාලේ ආණ්ඩු ඔය දේ කරල කෝටි ගණන් පාඩු වුණා. රාජ්‍ය සමාගම්වලට ප්‍රතිලාභ නැහැ. එයාර්ලංකා එකට දාපු සල්ලිත් අලාභ වෙනවා. නමුත් ඒක කම්කරුවගේ පිටින් දාලා බදු ගහනවා. අද පෞද්ගලික අංශයට ඒ බර දරන්න වෙලා. ඔවුන් 70%ක දායකත්වයක් ලබා දෙනවා.

නමුත් ඔවුන්ට ජීවත් වෙන්න බැහැ මේ සූත්‍ර නිසා ආණ්ඩුවට මේ බදු අඩු කිරීමේ වගකීම තියෙනවා. සීනිවලට 49ක බද්දක් ගහනවා. ඒ නිසා. මේ දේ හරියන්නේ නැහැ. අඩුම තරමේ බඩු මල්ලක් ගන්න හැකි වෙන්නවත්. අවුරුදු තුනහමාරක් රට කරලත් පෞද්ගලික අංශයට මොනවද කළේ. පඩි වැඩි කළේ නෑ. නමුත් අනෙක් සියලු භාණ්ඩ වැඩි කළා. දැන් එකයි තියෙන්නේ මේ ආණ්ඩුවට කරන්න. ඊළඟ අය වැය ඉදිරිපත් කරන්න කලින් බදු ගහපු ටික අයින් කරන්න. එතකොට වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පහසු වෙයි. ජීවන වියදම එහෙම අඩු කරන්න බැරි නම් පෞද්ගලික අංශයට පඩි වැඩි කරන්න. වැඩි වුණු ජීවන වියදමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වුණේ නැහැ. ඒකයි අපි ඉල්ලන්නේ පඩි වැඩි කළ යුතුයි කියලා. නැත්නම් අපි ඊට පෞද්ගලික අංශ පෙළ ගස්වනවා.

මේ ළඟදී කම්කරු ඇමැති කියල තිබ්බා සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න වෘත්තීය සමිති විරුද්ධයි කියලා. නමුත් අපි ආයෝජනය කරනවා කියලා. අපි රවින්ද්‍ර සමරවීර ඇමැතිට කියනවා මේ අම්මා අප්පගේ බූදලය නෙවෙයි කියලා. එහෙම කළොත් කම්කරු ඇමැතිකමත් නැති වෙයි. කම්කරු දෙපාර්තමේන්තුවම අපි වට කරනවා. ඒ ප්‍රකාශය පිළිකුල් අපිට.

2011 රාජපක්ෂ මහත්තයා ආවා මේ වැඩේ කරන්න. ඒත් අපි දුන්නේ නැහැ. රොෂේන් චානක මරලත් මහින්දට අපි ඒක කරන්න දුන්නේ නැහැ. එහෙව් එකේ රවින්ද්‍ර සමරවීරට ඒකට ඉඩ දෙන්නේ නැහැ. රනිල් – මෛත්‍රි හවුලට බෑ. ඊ.පී.එෆ්. ධවල පත්‍රිකාවට ඉඩ තියන්නේ නැහැ.

රටේ පෞද්ගලික අංශයේ අය එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ බිලියන 2000 අපේ ජනතාවගේ සල්ලි. මේ සල්ලිවලින් සූදු කෙළින්න දෙන්න එපා. එහෙම වුණොත් ලක්ෂ 26ක් එක්ක අපි පාරට බහිනවා. අපි මහ බැංකුව වටලනවා. කම්කරු දෙපාර්තමේන්තුවත් වටලනවා. මේ අවසාන නිවේදනය. සම්මන්ත්‍රණ මඟින් රටේ ජනතාව අපි දැනුවත් කරනවා. ආසන මට්ටමින් උද්ඝෝෂණ ලබන 15දා ඉඳල ආරම්භ කරල 23 දින කොළඹට එනවා.

RSL

Related Posts