ආර්ථිකය ගොඩගන්න ලන්ඩන් කොටස් වෙළඳපොළෙන් අගමැතිට සහයක්

Spread the love

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer)මහතා පවසයි.

ෂ්විමර් මහතා ඒ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(08)පෙරවරුවේ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ව්‍යාපාරික හා මුල්‍ය සබඳතා නව මානයකට ගෙන ඒමේ අරමුණින් ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් වික්‍රමසිංහ මහතාට සමාරම්භක අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබිණි.

මෙහිදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම ඔස්සේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්‍ෂාව බවය.

අප ජීවත් වන්නේ සීග්‍රයෙන් වෙනස් වන සමාජ වටපිටාවක බැවින්, ඊට අනුරූපව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට ඉදිරියට ගෙන යාමටත්, ඒ ඔස්සේ ශක්තිමත් ගෝලීය මුල්‍ය ක්‍රමයකට එක්වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ලන්ඩන් කොටස් වෙළඳපොළ ගනුදෙනු සියල්ල සඳහා මෘදුකාංග නිර්මාණය කර ඇත්තේත්, එදිනෙදා පරිගණක කාර්යයන් මෙහෙයවීම හා අධීක්‍ෂණය සිදු කරන්නේත් ශ්‍රී ලාංකේය තොරතුරු තාක්‍ෂණ ශිල්පීන් විසින්ය.

පරිගණක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර, ලන්ඩනයේ උප මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත.

RSL

Related Posts