අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි

Spread the love

අයවැය දෙවැනිවර කියැවීමේ ඡුන්දයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය වැඩි ඡන්ද 43 කින් ඊයේ (12) සවස පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විපක්‍ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡුන්දය දුන් අතර එම සන්ධානයේ සිටින සෙසු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඡුන්දය විමසද්දී සභා ගැබෙහි නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුද අයවැයට විරුද්ධ වූහ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් එකොළොස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් සහ මුත්තු සිවලිංගම් යන මහත්වරු එක්සත් ජාතික පක්‍ෂය සමග අයවැයට පක්‍ෂව ඡන්දය දුන්හ. අතුරලියේ රතන හිමියන්ද, ඩග්ලස් දේවානන්දා මහතාද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු සිව් දෙනෙක් ද ඡුන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.

මහින්ද සමරසිංහ, එස්. බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, අශෝක ප‍්‍රියන්ත, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, මොහාන් ලාල් ගේ‍්‍රරු, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, කාදර් මස්තාන්, අන්ගජන් රාමනාදන්, දුමින්ද දිසානායක, දයාසිරී ජයසේකර, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් සභා ගැබෙහි නොසිටියහ.

අයවැයට පක්‍ෂව ඡුන්ද 119 ක් සහ විපක්‍ෂව ඡුන්ද 76 ක් ලැබිණි. ඡුන්දය විමසන අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් 29 ක් සභා ගැබෙහි නොසිටියහ.

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වැනි අයවැය ලේඛනය මෙය වන අතර දෙවැනි වර කියැවීමේ විවාදය පසුගිය 06 වැනිදා ආරම්භ විය.

පුරා දින හයක් පැවැති දෙවැනි වර කියැවීමේ විවාදය අවසන් කරමින් ඊයේ (12) සවස 5.25 ට ඡුන්ද විමසීම ආරම්භ කෙරිණි.

මූලාසනයේ සිටි කථානායක කරු ජයසූරිය මහතා විසින් ඡුන්ද විමසීම නිවේදනය කළ අවස්ථාවේ විපක්ෂය බෙදීමක් (ඡන්දයක්) ඉල්ලා සිටියේය. ඒ අනුව විද්‍යුත් ක‍්‍රමය යටතේ ඡුන්ද විමසීම සිදු විය.

අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ විවාද කෙරෙන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වැනිවර කියැවීමේ විවාදය අද (13 දා) ආරම්භ වන අතර එය අපේ‍්‍රල් 05 වැනිදා දක්වා දින 19 ක් පුරා පැවැත්වේ. ඒ අනුව අද ජනාධිපති, අගමැති සහ අධිකරණ විනිසුරුවරුන්ට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය සිදු කෙරේ.

අපේ‍්‍රල් 05 වැනිදා පස්වරු 5.00 ට අයවැය තුන්වැනි වර කියැවීමේ ඡුන්ද විමසීම පැවැත්වේ.

RSL

Related Posts