අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!

Spread the love

හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි.

පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම වැඩිමහල් සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දිවිහිමියෙන් අතිශය හිතවත් සහ ඔහු සමඟ වසර ගණනාවක් දේශපාලනය කළ පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් ඇතුළු පෞද්ගලික හිතවතුන් කපා හැරීමේ මෙහෙයුමක් පසුගිය කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ අතර මේ වන විට ඉන් නොනැවතී ඔවුන්ට එරෙහිව තම මඩ බලකාය හරහා මඩ ව්‍යාපාරද දියත් කර තිබේ. බැසිල්ගේ ප්‍රධාන ඉලක්ක අතර විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල ප්‍රධාන වේ. 2015 දී ලද පරාජයෙන් පසු හොර රහසේම බැසිල් ඇමෙරිකාවට පැන ගිය කාලසීමාවේදී පවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සුවිශාල කාර්යයභාරයක් සිදු කරනු ලැබූයේ මෙම පිරිසයි. “මහින්ද සමඟ නැගිටිමු”, “පෙරළියක ඇරඹුම” වැනි විවිධ මහජන රැළි සංවිධානය කරමින් මහින්ද සමඟ සිටි පිරිස් ඒකරාශී කරමින් එම ජනරැල්ල නොසිදී පවත්වාගෙන යෑම සිදුකළේ මහින්ද වෙනුවෙන් සිටි මෙම පිරිස වන අතර සැබැවින්ම බැසිල් රාජපක්ෂ සිදුකරනු ලැබූයේ, එසේ ගොඩනැඟී තිබුණු ජනරැල්ල එක් පක්ෂයකට ගොනු කොට පැමිණි මැතිවරණය වෙත යැවීමයි.

එදා මහින්ද වෙනුවෙන් විමල්ලා, දිනේෂ්ලා, වාසුලා, ගම්මන්පිලලා ජන රැළි සංවිධානය කරද්දී, මහින්ද වෙනුවෙන් එම වේදිකාවටත් නොනැඟ තම ජාමේ බේරාගැනීමට විදේශගත වෙමින් කට්ටි පැනමින් සිටි ප්‍රසන්න රණතුංගලා වැන්නවුන් අදත් තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් මහින්දට මුවාවී කටයුතු කරමින් සිටී.

කෙසේ වෙතත්, බැසිල්ගේ විධානයන් මත මෙම මඩ බලකාය විසින් පසුගිය දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට දිගින් දිගටම පහරදුන් අතර මේ වන විට පක්ෂ නායකයෙකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට පහරදෙමින් සිටී. මේ සම්බන්ධයෙන් අද(13) මව්බිම පුවත්පතට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

—උපුටා ගැනීම—

බැසිල්ගේ වන්දිභට්ටයන් සමාජ ජාලා මඟින් බොරු පතුරුවනවා

“එජාප ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලයේ ගෙන ගිය ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටි පිරිස් නොපිළිගත් නිසා යැයි යමෙක් පවසනවා නම් ඒ පිළිබඳව ඔහු දෙවරක් සිතා බැලිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

මේ පිළිබඳව සමාජ ජාල මාධ්‍යවල බැසිල් රාජපක්ෂ මහතාගේ වන්දිභට්ටයන් විවිධ කතා පතුරුවා හරින බවත් එසේ නම් ඔක්තෝබර් 26 විප්ලවය, රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය හා ඉන්පසුව සම්මුති ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රිවරු 16 දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වීම වැනි ක්‍රියාමාර්ගයන් වැරැදි සහගත ඒවාද යනුවෙන් එම වන්දිභට්ටයන්ගෙන් විමසා සිටින බවද නානායක්කාර මහතා පැවැසුවේය. මේ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

රනිල්ට විරුද්ධව අපි ගෙනගිය සාර්ථක ක්‍රියාමාර්ගයන් අවලංගු වුණේ නඩු තීන්දු දෙකක් නිසයි. කථානායක එජාප කථානායකවරයෙක් විදියට ක්‍රියා කළ නිසාත් මේ දේවල් අසාර්ථක වුණා. ඒ නිසයි පාර්ලිමේන්තුවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ. මේවාට පරීක්ෂණ කරනවා නම් කථානායකවරයාත් විත්තිකරුවෙක්.

බැසිල් රාජපක්ෂට වන්දිභට්ටකම් කරන අය එක එක දේවල් මේවාට කියනවා. ඒකට මම කැමැති නෑ. මම බැසිල් රාජපක්ෂට නෙවෙයි මේ ‍දොස් කියන්නේ එතුමාගේ වන්දිභට්ටයන්ටයි.”

—-උපුටා ගැනීම අවසන්—

කෙසේ වෙතත් මෙම මඩ මෙහෙයුම බැසිල්ගේ මඟපෙන්වීම මත ඔහුගේ කාර්යාලයේ ඔහු සමඟම සිටින පිරිස් විසින් සිදුකරන අතර බැසිල්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට පිටින් යන සහ ඔහුට එරෙහි මහින්ද පිලේ ඕනෑම අයෙකුට එරෙහිව තරතිරම නොබලා මෙම මඩ ප්‍රහාර සිදුකරන බවට බැසිල් සමීපයේ සිටින අප දේශපාලන වාර්තා කරුද පැවසීය.

RSL

Related Posts