හේමසිරි සහ පූජිත්ට එරෙහිව නීතිපතිගෙන් නඩු

Spread the love

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රබල ලෙස සිය රාජකාරි පැහැර හැර ඇති බැවින් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දප්පුල ලිවේරා මහතා ඊයේ (01) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව හා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව සලකා බැලූ නීතිපතිවරයා එම නියෝගය කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.

ඉදිරිපත් වූ සාක්ෂි අනුව හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇති බවටත් ඔවුන්ගේ නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය නිසා එම සිද්ධි වළක්වා ගැනීමට අපොහොසත් වී ඇති බවටත් නිගමනය කළ නීතිපතිවරයා එම නියෝගය කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්්තුව පසුගිය 26 වැනිදා නීතිපතිවරයාට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එම විමර්ශන වාර්තාව සලකා බැලූ නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පූජිත් ජයසුන්දර මහතා සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය ජුනි 27 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබිණි.

එම සිද්ධි මාලාව අපරාධ ඉතිහාසයේ බරපතළ අපරාධ ගණයට වැටෙන අපරාධ වන බවත් සැකකරුවන්ගේ ප‍්‍රබල නොතකා හැරීම් හේතුකොට ගෙන සිදු වූ එම අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහිව බරපතළ අපරාධ වශයෙන් ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව සැලකෙන බව ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව තමා විසින් පසුගිය 27 වැනිදා ලබා දෙන ලද උපදෙස් පරිදි මේ දක්වා කටයුතු කර එම උපදෙස් කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත් වීම බරපතළ කරුණක් බව ද සිය ලිපිය මගින් වැඩබලන පොලිස්පතිවරයාට පෙන්වාදී ඇත.

නීතිපතිවරයා පසුගිය 27 වැනිදා තමා විසින් ලබා දෙන ලද උපදෙස් අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වූ හේතු ලිඛිතව වහාම ඊයේ (01) දිනය තුළ ඉදිරිපත් කරන ලෙසට ද වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ කටයුතු කරන ලෙසටත් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

RSL

Related Posts