හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ සහ ‘අන්තර්ජාල’ භාවිතය සපුරා තහනම්

Spread the love

ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ‍ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත. මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පනවන ලද එම නීතිය පසුගිය සතියේ යළි බලගන්වන චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ත්‍රිවිධ හමුදාව යනු වෙළඳ ආයතනයක් නොවේ.

ජාතික ආරක්ෂාවේ වගකීම පැවරී ඇති රටේ ගෞරවයට පාත්‍රවූ ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම ෆේස්බුක් අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක හෝ එම පුද්ගලයන් වෙනුවෙන් පවත්වාගෙන යන ප්‍රොෆයිල්වල එම හමුදා සාමාජිකයන්ගේ නිල ඇඳුමෙන් පෙනී සිටීම මේ යටතේ සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

යම් හමුදා සාමාජිකයෙක් එසේ පෙනී සිටියහොත් අදාළ චක්‍රලේඛයේ සඳහන් පරිදි විනය නීති අනු ගමනය කිරීමට සිදුවෙයි.

හමුදාවේ නිලධාරින්ගේ හමුදා තොරතුරු, උසස්වීම්, මාරුවීම්, රාජකාරි කටයුතු සහ වෙනත් එවැනි තොරතුරු ප්‍රචාරය සඳහා හමුදා නිල වෙබ්අඩවි පවත්වාගෙන යයි.හමුදාවල රහස්‍යභාවය, ගෞරවය, විනය සහ වෙනත් නීතිරීතිවලට යටත්ව ඉහළ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එම නිල වෙබ්අඩවිය පවත්වාගෙන යයි.එහෙත් හමුදා සාමාජිකයන් කිසිදු සීමාවකින් තොරව ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ පෞද්ගලික ෆේස්බුක්, අන්තර්ජාලය සහ ප්‍රොෆයිල්වල හමුදා නිල ඇඳුමින් සැරසී විවිධ තොරතුරු ප්‍රචාරය කරගෙන යයි.

මේවාට විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයේ ප්‍රකාශ (Comments) එකතු කිරීම නිසා හමුදාව හෑල්ලුවට ලක්වෙන බොහෝ අවස්ථා දක්නට ලැබේ.

යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතාද මේ තත්ත්වය පිළිබඳ නිතරම සාකච්ඡා කර හමුදා සාමාජිකයන්ට යළිත් එම තහනම පිළිබඳ මතක් කර දෙන ලෙස අදාළ විනයබාර හමුදා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

RSL

Related Posts