බැඳුම්කර වෙන්දේසියේ අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 10 ක් ගිල්ල හැටි හෙළිවෙයි!

Spread the love

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මුලින් නිර්දේශ කර තිබූ රු. බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ නිර්දේශයට පටහැනිව මහ බැංකු අධිපතිවරයා විසින් 2015 පෙබරවාරි 27 දින පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් රු. බිලියන 10 කට අධික ලංසු පිළිගන්නා ලෙස රාජ්‍ය ණය අධිකාරිවරියට උපදෙස්‌ දුන් බවත් තම විශ්වාසය හැටියට එය නියෝගයක්‌ බවත් එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි ආචාර්ය එම්. ඉසෙඩ් එම්. ආසිම් මහතා ඊයේ (03) මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

මෙය පැහැදිලි නියෝගයක්‌ නේදැයි රජයේ නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්‌ථාවේදී තමා එලෙස විශ්වාස කරන බවය; ආසිම් මහතා පිළිතුරු දුන්නේ.

මහා භාණ්‌ඩාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් රුපියල් බිලියන 10 කට අධික ණය මුදලක්‌ රැස්‌කර ගැනීමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කළ යෝජනාවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ නොසතුට පළ කළ බව ද ඒ මහතා කීවේය.

එතරම් විශාල මුදලක්‌ රැස්‌කර ගැනීම සුදුසු ක්‍රියාමාර්ගයක්‌ නොවන බව කමිටු සාමාජිකයන් වැඩි දෙනකුගේ අදහස වූ බවද එමගින් පොලී අනුපාත ඉහළ යැම අවදානමක්‌ ඇති බව ඔවුන් ඊට හේතුව ලෙස සැලකූ බව ද ආසිම් මහතා කීවේය.

එම බැඳුම්කර වෙන්දේසි මගින් රජයට එතරම් විශාල මුදල රැස්‌කර ගැනීමෙන් පොලී අනුපාතවලට අහිතකර බලපෑමක්‌ ඇතිවිය හැකි බව කිහිප අවස්‌ථාවකදීම අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතාට ඒත්තු ගැන්වීමට තමා උත්සාහ කළත් ඉන් ඵලක්‌ නොවූ බවද ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හමුවී කරුණු පැහැදිලි කළ යුතු බවට ටෙන්ඩර් මණ්‌ඩලයේ බොහෝ දෙනා සාකච්ඡා පැවැත්වූ බවත් එහෙත් අවසානයේදී අධිපතිවරයාගේ උපදෙස්‌ මත බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ තීරණය ක්‍රියාත්මක වූ බවත් ආසිම් මහතා තවදුරටත් කීවේය.

RSL

Related Posts